පළාත් පාලන ඡන්දය:අධිකරණයෙන් තීන්දුවක්..

පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමෙන් මිනිස් අයිතිවාසිකම් කඩවී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්..

by Staff writer 22-08-2024 | 8:41 PM

COLOMBO (News 1st) - අත්තනෝමතික හා අනීතික ක්‍රියා මගින් 2023 වසරේ පළාත් පාලන ඡන්දය නොපැවැත්වීමෙන් ජනාධිපතිවරයා, මුදල් අමාත්‍යවරයා ලෙස ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇතැයි, ශ්‍රේෂ්ඨාධිකරණය අද  (22) තීරණය කළේ ය.

පළාත් පාලන ඡන්දයට ආදාළව ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 4ක තීන්දුව ප්‍රකාශයට පත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ, එවක මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ සාමාජිකයින් ද ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවයි.

සමගි ජන බලවේගයේ රංජිත් මද්දුමබණ්ඩාර, ජාතික ජන බලවේගයේ ආචාර්ය හරිනි අමරසූරිය සහ සුනිල් හඳුන්නෙත්ති, පැෆ්රල් සංවිධානයේ රෝහණ හෙට්ටිආරච්චි සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබුණි.

ඒ, නීතිපතිවරයා, එවක මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින්, මුදල් අමාත්‍යංශ ලේකම්වරයා, අගමැති දිනේෂ් ගුණවර්ධන ඇතුළු අමාත්‍ය මණ්ඩලය, රජයේ මුද්‍රණාලාධිපතිනිය, පොලිස්පතිවරයා ඇතුළු 35 දෙනෙකු වගඋත්තරකරුවන් ලෙස නම් කරමිනි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර සහ යසන්ත කෝදාගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම් විභාග කළ අතර එය පසුගිය ජුනි 6 වැනිදා අවසන් කෙරිණි.

අද ඒකමතික තීන්දුව ප්‍රකාශයට පත් කළේ ගාමිණී අමරසේකර විනිසුරුවරයායි.

ආර්ථික දුෂ්කරතා හේතුවෙන් මූලික අයිතිවාසිකම් තහවුරු කිරීමේ වගකීමෙන්, රාජ්‍ය නිදහස් නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ අවධාරණය කර තිබේ.

තීරණ ගැනීමේ ක්‍රියාවලියේ අත්තනෝමතික ස්වභාවය, විශේෂයෙන්ම මැතිවරණ සඳහා අරමුදල් සැපයීමට ප්‍රමුඛත්වය දීමට අපොහොසත්වීමත් අධිකරණය දැඩි ලෙස විවේචනය කර තිබේ.

තීන්දුවේ සඳහන් වන්නේ, අයවැය සීමා කිරීම් මැතිවරණ ක්‍රියාවලියට ඇති කරන බලපෑම පිළිබඳව ජනාධිපතිවරයා ද වන මුදල් අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලය ප්‍රමාණවත් ලෙස දැනුවත් කර නොමැති බවයි.

මැතිවරණ ක්‍රියාවලිය නිසිආකාරව සැලසුම් කිරීමට සහ කළමනාකරණය කිරීමට මැතිවරණ කොමිෂන් සභාව අපොහොසත් වූ බවත්, අනෙකුත් රාජ්‍ය ආයතනවල සහයෝගීතාවය සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය උපදෙස් නිකුත් කිරීමට කොමිෂන් සභාව සිය බලතල ක්‍රියාත්මක නොකළ බවත් අධිකරණය පෙන්වා දී තිබේ.

වගඋත්තරකරුවන් ඉදිරිපත් කළ මූලික විරෝධතා සියල්ල ප්‍රතික්ෂේප කළ ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කළේ, මුදල් අමාත්‍යවරයා වූ රටේ ජනාධිපතිවරයාගේ පක්ෂපාතී ක්‍රියා හා අතපසුවීම් මගින් ව්‍යවස්ථාවේ 12(1) සහ 14(1) ව්‍යවස්ථාවලින් සහතික කර ඇති ජනතාවගේ මූලික අයිතිවාසිකම් අත්තනෝමතිකව උල්ලංඝණය කිරීමට හේතු වී ඇති බවයි.

මැතිවරණ කොමිෂන් සභාවට  පැවරී ඇති බලතල අනුව සෙසු රාජ්‍ය ආයත‍ෙවල සහය ලබාගෙන හැකි මුල් අවස්ථාවේදීම මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ ය.

මීට අමතරව පෙත්සම්කරුවන්ට රුපියල් එක්ලක්ෂ පනස් දහස බැගින් වූ නඩු ගාස්තුවක් ගෙවිය යුතු බව ද, ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයේ සඳහන් කළේ ය.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබූ කාලසීමාවේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ලෙස නිමල් පුංචිහේවා මහතා කටයුතු කළ අතර එස්. බී. දිවාරත්න, එම්.එම්. මොහොමඩ්, කේ.පී.පී. පතිරණ සහ පී.එස්.එම්. චාල්ස් යන මහත්ම මහත්මීන් එහි සාමාජිකයින් ලෙස කටයුතු කළේ ය.

සමගි ජන බලවේගය වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය, ජාතික ජන බලවේගය වෙනුවෙන් ජනාධිපති නීතිඥ නයිජල් හැජ්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වෙනුවෙන් ජනාධිපති නීතිඥ විරාන් කොරයා  සහ පැෆ්රල් සංවිධානය වෙනුවෙන් නීතිඥ අස්ථික දේවේන්ද්‍ර යන මහත්වරුන් අධිකරණය හමුවේ පෙනී සිටියහ.

නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනාරල් නෙරින් පුල්ලේ මහතා පෙනී සිටි අතර මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ එහි සාමාජිකයින් වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතායි.