''පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අය තවදුරටත් නිදැල්ලේ''

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නිදැල්ලේ සිටින පුද්ගලයින් ගැන විමර්ශනයක්

by Staff writer 21-10-2026 | 8:04 PM

COLOMBO(News1st) - පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අය තවදුරටත් නිදැල්ලේ සිටින බවට මහාධිකරණයේ ත්‍රිපුද්ගල නඩු තීන්දුවෙන් දඬුවම් නියම වූ පුද්ගලයින් තුන්දෙනෙකු කළ ප්‍රකාශයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

නිලධාරීන් 8 දෙනෙකුට බන්ධනාගාරයට ගොස් ඊට අදාළව ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද අවසර ඉල්ලා සිටියේය.

පාස්කු ඉරිදා දින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ ඇතුළු සැකකරුවන් තුන්දෙනෙකුට එරෙහි නඩුව අද යළි කැඳවූයේ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේයි.

එහිදී අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කියා සිටියේ මේ වනවිට මහාධිකරණයෙන් දඬුවම් නියම වී සිටින මිල්හාන්, රිස්කාන්, සෙයිනුල් ආබ්දීන් යන පුද්ගලයින්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබා ගැනීමට පියවර ගන්නා බවයි.

මේ අතර, විමර්ශන නිලධාරීන් හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දාගෙන් ද පාස්කු ප්‍රහාරයට අදාළව ප්‍රකාශ ලබාගෙන තිබේ.

එම ප්‍රකාශ ලබාගෙන ඇත්තේ, විමර්ශනයට අදාළ ප්‍රධාන සාක්ෂිකරුවෙකු වන අසාද් මවුලානා, කරුණා පාර්ශ්වයට සහ පිල්ලෙයාන් පාර්ශ්වයට හඳුන්වාදී ඇත්තේ ඩග්ලස් දේවානන්දා බවට හෙලි වූ කරුණු සැලකිල්ලට ගෙනයි.

විමර්ශන ප්‍රගතිය වාර්තා කරමින් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ පාස්කු ඉරිදා දිනයේ ප්‍රහාරය සිදු වීමෙන් පසුවත් ප්‍රහාරය සම්බන්ධව ලද තොරතුරු වසන් කිරීමට සුරේෂ් සලේගේ අනුදැනුම මත නිලධාරීන් ක්‍රියා කර ඇති බවයි.

කරුණා අම්මාන්ට විදෙස් ගමන් බලපත්‍ර සකස්කරදී රටින් පිට කිරීමේ සිදුවීම පිළිබඳවත් මෙහිදී නැවත කරුණු පැහැදිලි කෙරුණි.

එහිදී හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේශ් සලේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු කියා සිටියේ තම සේවා දායකයාට ගමන් බලපත්‍ර කිහිපයක් තිබුනේ නම් ඒවායේ අංක ඉදිරිපත් කළ යුතු බවයි.

නඩුව නොවැම්බර් 25 යළි කැඳවීමට නියමිතයි.