ශ්‍රී ලංකාවට තවත් ටෙස්ට් ජයක් අභියස?

ඉනිමක පරාජයෙන් බේරෙන්න වෙර දරන නවසීලන්තය තවත් ලකුණු 315ක් පිටුපසින්..

by Staff writer 28-09-2024 | 5:26 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව සහ සංචාරක නවසීලන්තය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය තුන් වැනි දිනය ඇඳ හැළුණු වර්ෂා තත්ත්වය හේතුවෙන් නතර කිරීමට විනිසුරුවන් තීරණය කළේ ය.

ශ්‍රී ලංකාව සහ සංචාරක නවසීලන්තය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද(28) තුන්වැනි දිනටත් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විය.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව කඩුලු 5ක් දැවී ලකුණු 602ක් රැස් කරගෙන සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළේ ‌ය.

ශ්‍රී ලංකා දක්ෂ පන්දු යැවීම හමුවේ නවසීලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 88ක් පමණි.

ශ්‍රී ලංකාව හමුවේ නවසීලන්තය ටෙස්ට් ඉනිමක දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ද මෙය වේ.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ ප්‍රභාත් ජයසූරිය ලකුණු 42ට කඩුළු 6යි.

නිෂාන් පීරිස් කඩුළු 3ක් බිදහෙලිමට සමත් විය.

දඟ පන්දු යවන්නන්ගේ පාරාදීසයක් වූ ගාලු ක්‍රීඩාංගණයේදී ඉනිමක පරාජයෙන් බේරීමට නවසීලන්තය දෙවැනි ඉනිම ආරම්භ කළේ ය.

ඔවුන්ගේ මුල් පෙළ කඩුළු 2 බිද වැටුණේ ලකුණු 97ක් තුළදීයි.

කේන් විලියම්සන් ලකුණු 46යි.

ඩැරිල් මිචෙල් ලකුණකට දැවී යද්දී රචින් රවීන්‍ද්‍රට රැස් කිරීමට හැකිවූයේ ලකුණු 12ක් පමණයි.

වර්ෂාව හේතුවෙන් අද(28) දිනයේ නියමිත වේලාවට පෙර තරගය නතර කරන විට නවසීලන්තය දෙවැනි ඉනිමට කඩුළු 5ක් දැවී ලකුණු 199ක් රැස් කරගෙන සිටී.