දීර්ඝ කෙරූ අතුරු තහනම් නියෝගය

විද්‍යුත් ගමන් බලපත්‍ර සම්බන්ධයෙන් පැන වූ අතුරු තහනම් නියෝගය දීර්ඝ කිරීමට අභියාචනාධිකරණයෙන් නියෝග...

by Staff writer 01-10-2024 | 7:50 PM

COLOMBO ( News 1st ) - විද්‍යුත් ගමන් බලපත්‍ර මිලියන පහක් මිලදී ගැනීම සඳහා පසුගිය රජය ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වමින් පැන වූ අතුරු තහනම් නියෝගය නොවැම්බර් 6 දක්වා යළි දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (01) නියෝග කළේ ය.

ඒ , ඊට අදාළව ගොනුකර ඇති රීට් පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් හා පී. කුමාරත්නම් යන මහත්වරුන් හමුවේ අද සලකා බැලූ අවස්ථාවේදී ය.

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකර නීතියට පටහැනි ආකාරයෙන් පසුගිය රජයේ අමාත්‍ය මණ්ඩලය විසින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර තොගයක් මිලදී ගැනීමට තීරණය කර ඇතැයි පෙන්වා දෙමින් එපික් ලංකා පෞද්ගලික සමාගම එම රීට් පෙත්සම ගොනු කර තිබේ.

එමෙන්ම විද්‍යුත් ගමන් බලපත්‍ර මිලියන පහක් සැපයීම සඳහා වන මූලික ප්‍රසම්පාදනයේ කොටසක් ලෙස විදේශ සමාගම් දෙකකින් විදේශ ගමන් බලපත්‍ර 750,000ක් මිලදී ගැනීමට අනුමැතිය ලබා දුන් කැබිනට් තීරණය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය පසුගිය සැප්තැම්බර් 26 වනදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය.

නමුත් එය නැවත දීර්ඝ නොකිරීමට අභියාචනාධිකරණය අද තීන්දු කරන ලදි.

ඒ , වගඋත්තරකාර වැඩබලන ආගමන විගමන පාලක ජනරාල්වරිය ලෙස කටයුතු කරන නිලූෂා බාලසූරිය මහත්මිය වෙනුවෙන් පෙනි සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා කල කරුණු දැක්වීම සලකා බලමිනි.

සුමති ධර්මවර්ධන මහතා කියා සිටියේ විදෙස්  සමාගම් දෙකකින් ගමන් බලපත්‍ර 750,000ක් ලබා ගැනීමට පසුගිය කැබිනට් මණ්ඩලය ලබා දී ඇති අනුමැතිය සම්බන්ධව අධ්‍යනයට අද දිනය තුළ පංච පුද්ගල විද්වත් කමිටුවක් පත් කරන බවය.

එම කමිටුවේ නිර්දේශ නව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට සිය සේවාදායිකාව කටයුතු කරන බව අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණයට දැනුම් දුන්නේ ය.

එම කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල පෙත්සම්කාර පාර්ශවයේ ද එකඟතාව ඇතිව විදේශ සමාගම් දෙකකින් ගමන් බලපත්‍ර 750000ක් මිලදී ගැනීම අත්හිටුවා මීට පෙර නිකුත්කළ අතුරු තහනම් නියෝගය දීර්ඝ නොකිරීමට තීන්දු කළේ ය.

පෙත්සම නොවැම්බර් 6 යළි කැඳවීමට නියමිතය.