ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර ගිවිසුමක්....

ශ්‍රී ලංකාවේ ඩොලර් මිලියන 39ක ණය ප්‍රතිව්‍යුහගතකරණයට ඔස්ට්‍රේලියාවේ එකඟත්වය.

by Staff writer 27-10-2025 | 6:26 PM

COLOMBO (News1st) - ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර ඇමරිකානු ඩොලර් මිලියන 39 ක ද්වීපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකරණය සදහා අද(27) කොළඹදී ගිවිසුම් ගත විය.

අද අත්සන් කලේ නිල ණය හිමියන්ගේ කමිටුව හරහා ඇතිකරගත් අවබෝධතා ගිවිසුම් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව එළැඹෙන ගිවිසුමටයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ ශ්‍රී ලංකාව සදහා නම්කල ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් මැතිව් ඩක්වර්ත් යන මහත්වරුන් ගිවිසුමට අත්සන් කළේ ය.

එහිදී ඕස්ට්‍රේලියාව දක්වන සහයෝගයට ශ්‍රී ලංකාව ස්තුතිය පලකර තිබේ.

ශ්‍රී ලංකාව 2022 අප්‍රේල් 13 වනදා විදේශීය ණය ආපසු ගෙවීම තාවකාලිකව අත්හිටුවා ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවළියක් ආරම්භ ක‍ළේ ය.

ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් වැඩ සටහනට සමගාමීවයි.

එහිදී ද්වීපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතරණ ක්‍රියාවළිය පිළිබඳව සාකච්ඡා සිදුවූයේ නිල ණය හිමි කමිටුව සහ චීනය සමග වෙන් වෙන්වයි.

ණය දෙන රටවල එකතුවක් වන පැරිස් සමාජයට අයත් ජපානය සහ ප්‍රංශය සමග පැරිස් සමාජයේ සාමාජිකයෙකු නොවන ඉන්දියාව සම සභාපතිත්වය දරමින් නිල ණය හිමි කමිටුව ක්‍රියාත්මක වේ.

නිල ණය හිමි කමිටුව තුළ රටවල් 22 ක් නියෝජනය වන අතර චීනයද නිල ණය හිමි කමිටුවේ සාකච්ඡා සදහා නිරීක්ෂණ මට්ටමින් එක්විය.

මේ වනවිට ද්වීපාර්ශ්වික ණය හිමියන් වැඩි ප්‍රමාණයක් සමග ණය ප්‍රතිව්‍යුහගතකරණය සදහා අවශ්‍ය එකගතා අවසන් අදියරට ළගාවී ඇති අතර තවත් පාර්ශ්ව කිහිපයක් සමග ගිවිසුම් අත්සන්කර අවසන් ය.

ප්‍රංශය, ජපානය, බ්‍රිතාන්‍ය, ඉන්දියාවේ ආනයන ආපනයන බැංකුව හෙවත් එක්සිම් බැංකුව සහ හංගේරියානු අපනයන ණය රක්ෂණ සමාගම එලෙස ගිවිසුම් අවසන් කල පාර්ශ්ව අතරට ඇතුළත් වේ.