ශුද්ධෝත්තම හිමිපාණන්ගෙන් ජනපතිට සුබපැතුම්..

ශුද්ධෝත්තම හිමිපාණන්ගෙන් ජනපතිට සුබපැතුම්..

by Staff writer 09-10-2024 | 6:43 PM

COLOMBO (News 1st)-

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් සහ විශ්වාසනීත්වයෙන් යුතුව පරීක්‍ෂණ පැවැත්වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුලපිරීම පැසසුමට ලක් කළ යුතු බව වතිකාන තානාපති අති උතුම් බ්‍රයන් උඩෙයිග්වේ හිමිපාණන් පවසයි.

උන්වහන්සේ මේ බව පැවසුවේ, අද පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවූ අවස්ථාවේදී ය.

ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති අති උතුම් බ්‍රයන් උඩෙයිග්වේ හිමිපාණන් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.

එහිදී ජනාධිපතිවරයාට සිය උණුසුම් සුබ පැතුම් පිළිගැන්වූ වතිකාන තානාපතිවරයා, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ හෘදයාංගම සුබපැතුම් ද ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවේ ය.

උන්වහන්සේ කියා සිටියේ නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව සාර්ථකත්වය සහ සෞභාග්‍ය කරා ගෙන යාමට හැකිවනු ඇති බවයි.

ජනතාව අපේක්ෂා කරන අයුරින්ම මනා සංවර්ධනයක් රට තුළ මේ වන විටත්  සිදු වෙමින් පවතින බව අවධාරණය කළ වතිකාන තානාපතිවරයා ජනාධිපතිවරයාගේ දැක්ම සහ කැපවීම ද ඇගයිමට ලක් කර තිබේ.

උන්වහන්සේ අවධාරණය කළේ, එම සියලු ප්‍රයත්නයන් වෙනුවෙන් වතිකානයේ සහාය ලබා දෙන බවයි.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ වින්දිතයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට යුක්තිය සහ සාධාරණය ඉටු කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා ගෙන යන අඛණ්ඩ උත්සාහයට වතිකානයේ  පූර්ණ සහයෝගය ලබා දෙන බවට ද උඩෙයිග්වේ හිමිපාණන් සහතික වූ බවයි.

ශ්‍රී ලංකාව සහ වතිකානය අතර පවතින ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳව ද මෙම හමුවේදී විශේෂ අවධානය යොමු වී තිබේ.