ජනපති අනුර - චීන ජනපති හමුවෙයි, අවබෝධතා ගිවිසුම් 15ටත් අත්සන්

by Staff writer 15-01-2025 | 7:49 PM

COLOMBO (News 1st) - ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං  මහතා අතර නිල හමුව අද (15) පස්වරුවේ පැවැත්වුණි.

ඒ , චීන මහජන ශාලාවේදීයි.

චීන මහජන ශාලාව වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව පිළිගනු ලැබුවේ චීන ජනාධිපතිවරයා විසින්.

ආචාර වෙඩිමුර සහිතව ඉතා අභිමානවත් අයුරින් එම පිළිගැනීමේ උත්සවය සංවිධානය කර තිබු බව, ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ය.

අනතුරුව රාජ්‍ය නායක දෙපළ අතර සුහද කථා බහකින් පසු දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ විය.

චීන ජනාධිපතිවරයා පවසා ඇත්තේ සංවර්ධනයේ නව යුගයක් සඳහා ශ්‍රී ලංකාව හා එක්ව කටයුතු කිරීමට සූදානම් බවයි.

සමීප මිත්‍ර රාජ්‍යයන් ලෙස චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝ කාලීන සබඳතාව ද සිහිපත් කළ ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරියට ද ශ්‍රී ලංකාව සමග නිරන්තර සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බව පවසා තිබේ.

රාජ්‍ය නායක ‍දෙපළ අතර නිල හමුවෙන් පසු දෙරට අතර ආර්ථික, සාමාජයිය හා කර්මාන්ත යන ක්ෂේත්‍රවලට අදාළ අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීම ද සිදු කෙරිණි.

එක් චීනයක් ප්‍රතිපත්තිය වෙනුවෙන්  රජය පෙනී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ ය.

'' මහජන චින සමූහාන්ඩුවේ ආර්ථික කාර්මික සහ තාක්ෂනික සහයෝගිතා සංවර්ධනය මෙන්ම මානව සංවර්ධනය කෙරෙහි අත්කර ගෙන තියන දැවැන්ත සංවර්ධනය පිලිබදව  ශ්‍රී ලංකාව බෙහෙවින් සතුටට පත්වෙනවා + ද්වි පාර්ශවික බහු පාර්ශවික සංසද ඇතුළු සියලු කේෂ්යෙන් හිදි එක් චීනයක් ප්‍රතිපත්තිය වෙනුවෙන් අපේ රජය පෙනී සිටිනවා. චීන සමූහාන්ඩුව දශක කිහිපයත් තිස්සේ ශ්‍රි ලංකාව සමාජ ආර්ථික සංවර්ධනය සදහා වැදගත් කාර්යබාරයක් ඉටුකර ඇති අතර මෙම සංචාර අපගේ රටවල් සහ ජනතාවගේ අභිවෘධිය වෙනුවෙන් බහුපාර්ශවිත සහොයෝගිතාව ශක්තිමත්වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා''

මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන මහජන සමූහාණ්ඩුවේ නිර්මාතෘ මා ඕසේතුං අනුස්මාරණ ස්මාරකයට  අද පෙරවරුවේ පුෂ්පෝපහාර දැක්විය.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනාධිපතිවරයා චීන කොමියුනිස්ට් පක්ෂ ඉතිහාසය දැක්වෙන ප්‍රදර්ශන ශාලාවද නැරඹූ බවයි.

ඉන් පසු ජනාධිපතිවරයා නැරඹුවේ චීනයේ ඓතිහාසික ස්ථානයක් වන කුං මාළීගා කෞතුගාරයයි.

සිව් දින නිල සංචාරයක් ආරම්භ කරමින් ජනාධිපතිවරයා ඊයේ (14) චීනයට ළඟා විය.