අධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

ටිරාන් අලස් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීම වළක්වමින් අධිකරණයෙන් අතුරු තහනමක්..

by Staff writer 15-01-2025 | 7:35 PM

COLOMBO (News 1st) - හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරන් අලස් මහතා ඇතුළු සිලෝන් නිවුස් පේපර්ස් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීම වළක්වමින් අභියාචනාධිකරණය අද (15) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය.

පුවත්පත් මුද්‍රණය කිරීම සඳහා යොදාගන්නා කඩදාසි සැපයීමේ ගිවිසුමක් උල්ලංඝනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා ඇතුලු පිරිස අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි, සඳහන් කරමින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනුකර තිබිණි.

පෙත්සම අද සලකා බැලීමෙන් අනතුරුව මේ මස 21 වැනිදා දක්වා බල පැවැත්වෙන පරිදි අදාළ අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබේ.

පෙත්සම සලකා බැලුනේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්ධුල කරුණාරත්න සහ බී. ශෂී මහේන්ද්‍රන් යන විනිසුරු මඩුල්ල ඉදිරියේයි.

පෙත්සම්කරු වෙනුවෙන් නීතීඥ සනත් විජේවර්ධනගේ මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ ආචාර්ය රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටිය හ.