අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන වැඩ බාර ගනී..

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන වැඩ බාර ගනී..

by Staff writer 31-07-2025 | 3:57 PM

COLOMBO (News 1st) - අධිකරණය කෙරෙහි මහජනතාවගේ විශ්වාසය වර්ධනය කරමින් අධිකරණ පද්ධතිය තුළින් කාර්යක්ෂම, ඵලදායී සේවාවක් සිදුකිරී අත්‍යඅවශ්‍ය බව නව අගවිනිසුරු ප්‍රීතිපද්මන් සුරසේන මහතා පැවසූවා.

නව අගවිනිසුරු ප්‍රීතිපද්මන් සුරසේන මහතා එසේ පැවසුවේ මව අගවිනිසුරු පිළිගැනීමේ උත්සවය අමතමින්.

උත්සවය ශ්‍රේෂ්ඨාධිකරණය පරිශ්‍රයේ පැවැත්වුණා ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරු, මහාධිකරණ, දිසා අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණවල විනිසුරුවරුන් ජ්‍යෙෂ්ඨ නීතිඥවරු පිරිසක්ද සහභාගි වූවා.

නිල උත්සවය අමතමින් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා පැවසූවේ,  අධිකරණ කෙරෙහි පවතින මහජන විශ්වාසය වර්ධනය කිරීම සඳහා අධිකරණවලින් කාර්යක්ෂම සේවාවක් සැපයීම අත්‍යවශ්‍ය බවයි.

ඇතැම් අධිකරණ කාර්යාල තුළ සිදුවන දූෂණ අක්‍රමිකතා  අධිකරණ කටයුතු ඩිජිටල්කරණය පිටු දැකීමට හැකියාව සැලසෙන බවද අගවිනිසුරුවරයා කියා සිටියා.

එබැවින් අධිකරණ ක්‍රියාදාමය ඩිජිටල්කරණය කිරීමේ කටයුතු වේගවත් කිරීමට පියවර ගන්නා බවත් ඒ සඳහා රජය විසින් අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදීමට කටයුතු කර තිබෙන බවද අගවිනිසුරුවරයා කියා සිටියා.

ඒ අනුව අදාල කටයුතු කඩිනමින් මෙහෙයවීම සඳහා අධිකරණ අමාත්‍යවරයා, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා, ඇතුළු පාර්ශ්ව කීපයක් සමග තමන් දැනටමත් සාකච්ඡා ආරම්භ කර තිබෙන බව පැවසූ අගවිනිසුරුවරයා අධිකරණ කටයුතු ඩිජිටල්කරණය කිරීම තුළින් අධිකරණ වල සේවාව ලබා ගැනීමට පැමිණෙන මහජනතාවට මෙන්ම නීතිඥවරුන්ටත් විශාල සහනයක් සැලසෙන බව කියා සිටියා.

එමෙන්ම ඒ තුළින් අධිකරණ කටයුතු පිළිබඳ සාමාන්‍ය මහජනතාවට ද දැනුවත් වීමක් ලබාගත හැකි බව ඔහු පැවසූවා.

නීතිඥ පවුල් පසුබිමක් රහිතව නීතිඥ වෘත්තියට පිවිසි තමන් ශ්‍රී ලංකාවේ 49 වන අග විනිසුරුවරයා වශයෙන් පත්වීම ගැන තමන් සතුටට පත්වනව බව කියා සිටි අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා එම තනතුරු සඳහා තමන්ගේ නම නිර්දේශ කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට ස්තූතිය පළකළා.

නව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ඉල්ලා සිටියේ, ඵලදායී ලෙස මහජනතාව වෙත අධිකරණ සේවාවක් සලසා දීම සඳහා නීතීඥ ප්‍රජාවට තමන් සමග අත්වැල් බැඳගන්නා ලෙසයි.

නව අගවිනිසුරුවරයා පිළිගනිමින් නීතිපති පාරින්ද රණසිංහ මහතා මෙසේ පැවසූවේ, වත්මන් අගවිනිසුරුවරයා නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ සේවකයකින් වශයෙන් සිය වෘත්තිය කටයුතු ආරම්භ කර අධිකරණ ක්ෂේත්‍රයට විශාල මෙහෙයක්ක කර තිබෙන බවයි.

මෙරට ඉතිහාසයේ ඉතා ආන්දෝලානාත්මක තීන්දු ගණනාවක් ඔහු විසින් ප්‍රකාශයට පත් කර තිබෙන බවත් ඒ තුළින් ඔහුගේ පුළුල් දැනුම හා අත්දැකීම් මනාව පිළිබිඹු වන බවත් ඔහු කියා සිටියා.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාද  නව අගවිනිසුරුවරයා පිලිගනිමින් ඔහුලේ වෘත්තිය කටයුතු අගයමින් අදහස් පලකළා.