මාලදිවයින් සංචාරය නිමා කරමින් ජනපති දිවයිනට

මාලදිවයින් සංචාරය නිමා කරමින් ජනපති දිවයිනට

by Staff writer 31-07-2025 | 6:51 AM

COLOMBO (News 1st) - මාලදිවයින් රාජ්‍ය සංචාරය සාර්ථකව අවසන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිවයිනට පැමිණියේය.

පසුගිය 28 වැනිදා ජනාධිපතිවරයා මාලදිවයින බලා පිටත්ව ගියේ, එරට ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු මහතාගේ ආරාධනාවකට අනුවයි.

මෙම රාජ්‍ය සංචාරයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු මහතා සමග මෙන්ම මාලදිවයිනේ කැබිනට් අමාත්‍යවරුන් ඇතුළු රාජ්‍ය ප්‍රධානීන් සමගද අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ද්විපාර්ශ්වික, කලාපීය සහ ජාත්‍යන්තර කරුණු පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කළේ ය.

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර අන්‍යෝන්‍ය නීති අධාර ගිවිසු‍මක් , මාලදිවයිනේ විදේශ සේවා ආයතනය සහ බණ්ඩාරනායක රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් ද හුවමාරු කර ගෙන තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, ජනාධිපතිවරයා වෙනුවෙන් මාලදිවයින් ජනාධිපතිවරයා විසින්  විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් ද සංවිධානය කර තිබූ බවයි.

මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කර 60 වසරක් පිරීම නිමිත්තෙන්, මාලේ අගනුවර පිහිටි සුල්තාන් උද්‍යානයේදී ජනාධිපතිවරයා විසින් පැළයක් ද රෝපණය කළේ ය.

එමෙන්ම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ශ්‍රී ලංකා-මාලදිවයින් ව්‍යාපාරික කවුන්සිලය එක්ව සංවිධානය කර තිබූ ව්‍යාපාරික සංසදය හා මාලදිවයිනේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවේ හමුවක් ද ඇමතු අතර වසර 60ක් පුරා දෙරට අතර දේශපාලන විශ්වාසය, ජනතාව අතර සමීප සබඳතා සහ සුහදත්වය මත ගොඩනැඟුණ මිත්‍රත්වය සහ බහුවිධ සහයෝගීතාව ප්‍රවර්ධනය කරමින් ඉදිරියට ගෙන යාම  පිළිබඳව මෙම රාජ්‍ය සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේ ය.

ඒ අනුව, දෙරට අතර සමීප මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත්ව පවත්වා ගෙන යාමට මෙහිදී දෙපාර්ශ්වයම එකඟතාව පළ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ය.