පාකිස්ථානු සහනාධාර රැගත් පළමු ගුවන් යානය දිවයිනට.

ගලවා ගැනීම් හා සෝදිසි කිරීම් සඳහා විශේෂ පුහුණුව ලද භටයන් 47ක් සහ සුනඛයින් 4ක් සමග පාකිස්ථානු සහනාධාර රැගත් පළමු ගුවන් යානය දිවයිනට..

by Staff writer 04-12-2025 | 11:21 AM

COLOMBO (News 1st) - විපතට පත් මෙරට ජනතාවට, පාකිස්ථානය පරිත්‍යාග කළ ආධාර රැගත් පළමු ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේ ය.

එම ආධාර අතරට කූඩාරම් , බ්ලැන්කට් , ඇද ඇතිරිළි , ජීවිතාරක්ෂක කබා , පිම්බෙන බෝට්ටු ,ජලය ඉවත් කරන පොම්ප , ලාම්පු , පැදුරු , මදුරු දැල් , ළදරු කිරිපිටි , වියළි ආහාර සහ ඖෂධ ඇතුළත්.

සෝදිසි කිරීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සදහා විශේඥ පුහුණුව ලද භටයින් 47 දෙනෙකු සහ සෝදිසි මෙහෙයුම් සඳහා පුහුණුව ලත් සුනඛයන් 04 දෙනෙකු ද ගුවන් යානයෙන් මෙරටට පැමිණියා.

පකිස්තාන ගුවන් හමුදාවට අයත් සී.- 130 වර්ගයේ ගුවන් යානය ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණ තිබුණි.

මේ අතර ඉන්දීය ආධාර තොගයක් රැගත් තවත් ගුවන් යානයක්  කටුනායක ගුවන්තොටුපොළ වෙත ළගා වුණි.

මෙට්‍රික් ටොන් 50 ක් බරැති පාළමක් , ලීටර් 20 ක ධාරිතාවයකින් යුතු ජල පිරිසිදු කරනයන් 500 ක් සහ ඖෂධ තොගයක්  ආධාර තොගයට ඇතුළත් වේ.

වෛද්‍යවරුන් 11 දෙනෙකු සහ ඉංජිනේරුවරුන් 11 දෙනෙකු රැගත් ඉන්දීය ගුවන් හමුදාවේ සී.- 17 වර්ගයේ  ගුවන් යානය ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියේ ය.

ඉන්දියාවේ සිට ආපදා සහන රැගෙන මෙරටට ළගා වු හත්වැනි ගුවන් යානය එයයි.

මේ අතර  ආපදා තත්ත්වය යටතේ විපතට පත් වී සිටින ලාංකිකයන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සදහා "ක්ෂේත්‍රගත රෝහලක් "පවත්වා ගෙන යාමට අවශ්‍ය 31 දෙනෙකුගෙන් යුතු  ජපන් ජාතික වෛද්‍යවරුන් ඇතුළු සමස්ථ රෝහල් කාර්යය මණ්ඩලයක් දිවයිනට පැමිණියේ ය.

එම ක්ෂේත්‍ර රෝහල හලාවත මහ රෝහල ආසන්නයෙහි ස්ථාපිත කිරීමට නියමිතය.

රෝහල සදහා අවශ්‍ය ඖෂධ , වෛද්‍ය උපකරණ , රසායනගාර පරීක්ෂණ සදහා අවශ්‍ය පහසුකම් සියල්ල ද  ජපන් ජාතික වෛද්‍ය සහන සේවා කණ්ඩායම විසින් රැගෙනවිත් ඇත.