කොරියානු රැකියා අපේක්ෂිතයින්ට සුබ පණිවුඩයක්...

කොරියා රැකියා බලාපොරොත්තුවෙන් ඉන්න පුද්ගලයින්ට දෙවන වසර සඳහා වෙබ් අඩවියේ ලියාපදිංචියේදී තිබූ වෛද්‍ය පරීක්ෂණය තවදුරටත් අවශ්‍ය නැහැ - කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය

by Staff writer 20-01-2026 | 7:37 PM

COLOMBO(News1st) - දකුණු කොරියාවේ රැකියා සඳහා සුදුසුකම් ලබා රැකියා ගිවිසුමක් බලාපොරොත්තුවෙන් වෙබ් අඩවියේ රැඳී සිටින ශ්‍රමිකයින්ට සහනයක් ලබා දෙමින් දෙවන වසර සඳහා වෙබ් අඩවියේ ලියාපදිංචි වීමේදී මෙතෙක් අනිවාර්ය කර තිබූ දෙවන වෛද්‍ය පරීක්ෂණය සිදුකිරීම තවදුරටත් අවශ්‍ය නොවන බව කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය විසින් (HRDK) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත දැනුම් දී තිබේ.

2026 ජනවාරි 01 වැනිදා සිට මෙම නව තීරණය ක්‍රියාත්මක වේ.

භාෂා ප්‍රවීණතා විභාගය ඇතුළු අනෙකුත් සුදුසුකම් සපුරාලන ශ්‍රමිකයින් EPS වෙබ් අඩවියට ඇතුළත් කිරීමට පෙර පළමු වරට වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පෙනී සිටිය යුතු අතර, ඉන් සමත්වන ශ්‍රමිකයින්ගේ තොරතුරු වෙබ් අඩවියට ඇතුළත් කරනු ලබයි. වෙබ් අඩවියට ඇතුළත් කර පළමු වසර අවසානයේදී තවදුරටත් වෙබ් අඩවියේ රැඳී සිටින ශ්‍රමිකයින් යළිත් වෛද්‍ය පරීෂණයක් සඳහා මුහුණ දිය යුතු අතර, මේ නව තීරණය අනුව එසේ දෙවන වසර සඳහා වෛද්‍ය පරීක්ෂණය සඳහා පෙනී සිටීම අවශ්‍ය නොවන අතර, පළමු වෛද්‍ය පරීක්ෂණය සඳහා පෙනී සිටීම පමණක් ප්‍රමාණවත් වේ.

පරිපාලනමය කාර්යක්ෂමතාවය වැඩි කිරීමේ හා වෛද්‍ය පරීක්ෂණයන් වෙනුවෙන් රැකියා අපේක්ෂිතයින්ට වැය කිරීමට සිදුවන මුදල් ප්‍රමාණය අවම කිරීමේ පරමාර්ථයෙන් මෙම තීරණය ගෙන තිබේ.