වසන්තගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වෙලා

වසන්ත මුදලිගේ 2022දී අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වෙලා - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

by Staff writer 19-03-2026 | 9:27 PM

COLOMBO (News 1st) - 2022 වසරේ අරගලය පැවති සමයේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් පොලීසිය ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේ ය.

රැඳවුම් භාරයේ සිටි වසන්ත මුදලිගේ වෙනුවෙන් නීතිඥ මංජුල බාලසූරිය ඉදිරිපත් කළ පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අර්ජුන ඔබේසේකර, ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මෙම තීන්දුව ලබා දුන්නේ ය.

2022 වසරේ අගෝස්තු මස 18 වැනිදා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය පැවැත් වූ විරෝධතාවයකින් අනතුරුව එහි කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ඔහුගේ නීතිඥවරයා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල සඳහන් කළේ, වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීමට තරම් සාධාරණ සැකයක් මතුවිය හැකි කරුණු වගඋත්තරකරුවන් විසින් ඉදිරිපත් කර නොමැති බවයි.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, බස්නාහිර පළාත භාර හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ කාවින්ද පියසේකර ඇතුළු පිරිසක් නම් කර තිබුණි.