ඇමරිකානු ප්‍රහාරක යානයක් විනාශ කළ බව ඉරානය පවසයි!

තම නව ගුවන් ආරක්ෂණ පද්ධතියක් මගින් ඇමරිකානු ප්‍රහාරක යානයක් විනාශ කළ බව ඉරානය පවසයි!

by Janitha Mendis 05-04-2026 | 5:12 PM

COLOMBO(News1st) - ඉරානය පසුගිය සිකුරාදා සිය නවතම ගුවන් ආරක්ෂණ පද්ධතියක් භාවිත කරමින් ඇමරිකානු ප්‍රහාරක යානයක් විනාශ කළ බව ඉරානයේ ඒකාබද්ධ යුද මූලස්ථානය අද(05) ප්‍රකාශ කළේය.

ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන පරිදි, එම ඒකාබද්ධ මූලස්ථානයේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ, මෙම නව පද්ධති හරහා ඉරානය සිය ගුවන් සීමාව තුළ "නියත වශයෙන්ම පූර්ණ පාලනය" අත්පත් කරගන්නා බවයි. 

ඉරාන ගුවන් ආරක්ෂණ පද්ධතිවල ඉලක්ක වීමෙන් අනතුරුව ඇමරිකානු සටන්කාමී යානා දෙකක් ඉරාන භූමියට කඩාවැටී ඇති බවට පසුව වාර්තා වුණා. ඉන් එක් යානයක් F-15E වර්ගයේ ප්‍රහාරක යානයකි. ඉරානයට කඩාවැටුණු F-15E යානයේ සිටි දෙදෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයේ දෙවන නියමුවා ද ඇමරිකානු විශේෂ බලකායන් විසින් සාර්ථකව මුදාගත් බව ඇමරිකානු නිලධාරීන් අද තහවුරු කළා. මීට පෙර පළමු නියමුවා ද මුදාගනු ලැබීය.

තවද මෙම මුදාගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වූ Black Hawk හෙලිකොප්ටර් යානා දෙකකට ද ඉරාන ප්‍රහාර එල්ල වූ නමුත්, ඒවා ආරක්ෂිතව ඉරාන ගුවන් සීමාවෙන් පිටවීමට සමත්ව ඇති බව Reuters පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කර ඇත. මෙම සිදුවීමත් සමග ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට දැනුම් දී ඇත්තේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට තවත් පැය කිහිපයක් පමණක් ඉතිරිව ඇති බවයි.