දිට්වා වන්දි ගැන ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්...

දිට්වා හේතුවෙන් අර්ධ හානියට පත් නිවාස සඳහා වූ වන්දි, මැයි මස අවසන් වීමට පෙර ගෙවා අවසන් කරන්න - ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

by Staff writer 22-04-2026 | 8:04 PM

COLOMBO (News 1st) - දිට්වා සුළි කුණාටුව‍ හේතුවෙන් අර්ධ හානියට පත් නිවාස සඳහා රජයෙන් අනුමත කළ රුපියල් ලක්ෂ 05 ක වන්දි මුදල මැයි මස අවසන් වීමට පෙර ගෙවා අවසන් කරන ලෙස ජනාධිපතිවරයා අද (22) නිලධාරීන්ට උපදෙස් දුන්නේ ය.

ඒ, හානිවූ නිවාසවලට වන්දි ගෙවීමේ සහ නව නිවාස ලබා දීමේ කටයුතු සම්බන්ධයෙන් ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවකදී යි.

ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාව පැවැත්විණි.

පූර්ණ හානි වූ නිවාසවල පදිංචිකරුවන් වෙනුවෙන් නව නිවසක් ලබා දීම හෝ නිවසක් මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ 50 ක වන්දි මුදල ලබා දීමේ ප්‍රගතියද අද සාකච්ඡාවේදී අවධානයට ලක්විය.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, එම වන්දි මුදල් ගෙවීම කඩිනම් කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන් බවයි.

තවමත් කඳවුරුවල ජීවත්වන ජනතාවට නව නිවසක් ලබා දෙන තෙක් තාවකාලික නිවාසවල පදිංචි කරවීම පිළිබඳව අවධානය යොමුකළ ජනාධිපතිවරයා සුදුසු ස්ථාන පිළිබඳව සොයා බලා එම කටයුතු ඉතා ඉක්මනින් අවසන් කිරීමට පියවර ගන්නැයි, නිලධාරීන්ට දැනුම්දී තිබේ.

අධි අවදානම් කලාපවල ජීවත් වන ජනතාව වෙනත් ස්ථානවල පදිංචි කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර ඇති අතර නව නිවසක් මිලදී ගැනීමට හෝ ඉදිකිරීමට වන්දි ලබා නොගත් පදිංචිකරුවන් වෙනුවෙන් නිවාස සංකීර්ණ ඉදිකිරීමේ සැලසුම් පිළිබඳව එහිදී අවධානය යොමුවී තිබේ.