විජෙයි තමිල්නාඩු මහ ඇමති ධූරයේ දිවුරුම් දීම අද

තලපති විජෙයි තමිල්නාඩු මහ ඇමති ධූරයේ දිවුරුම් දීම අද

by Staff writer 10-05-2026 | 7:31 AM

COLOMBO(News1st) - තලපති විජෙයි තමිල්නාඩු මහ ඇමති ධූරයේ දිවුරුම් දීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ ඊයේ දිනයේ ඔහුට අවශ්‍යව තිබූ ඉතිරි මන්ත්‍රී ආසන සංඛ්‍යාව සම්පූර්ණ වීමත් සමගින් ය.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි අද එරට වේලාවෙන් උදෑසන 10 ට තලපති විජෙයි තමිල්නාඩු මහ ඇමති ධූරයේ දිවුරුම් දීමට නියමිතයි.

පසුගිය සඳුදා මැතිවරණ ප්‍රතිඵල නිකුත් වූ අතර එහිදී තමිල්නාඩු ප්‍රාන්තයේ දේශපාලනය උඩුයටිකුරු කරමින් දශක හයකට ආසන්න කාලයක් තිස්සේ පැවති DMK සහ AIADMK යන ද්‍රවිඩ පක්ෂ දෙකේ ඒකාධිකාරය බිඳ දැමීමත් විශේෂත්වයකි.

ආසන 234 කින් සමන්විත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 108 ක් ලබා ගැනීමට TVK පක්ෂය සමත් වූ අතර, එය බහුතරය සඳහා අවශ්‍ය ප්‍රමාණයට වඩා ආසන 10 ක් අඩුවීම කාගේත් අවධානයට ලක් විය.  

ඒ අනුව මන්ත්‍රීවරුන් පස් දෙනෙකුගෙන් යුත් කොංග්‍රස් පක්ෂයේ සහය ලබා ගැනීමෙන් පසු විජෙයි බදාදා ආණ්ඩුකාර රාජේන්ද්‍ර අර්ලේකර් හමුවී රජයක් පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.

කෙසේ වෙතත් එහිදී ඔහුට තවත් සහය අවශ්‍ය බවට උපදෙස් ලැබීමෙන් අනතුරුව  DMK පක්ෂය සමඟ සන්ධානගතව තරඟ කළ CPI සහ CPI(M) පක්ෂ ද ඔහුට සහය දීමට එකඟතාවය පල කර තිබුණි.

ඒ අනුව තවත් මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු එකතු වුවද  එයද බහුතරය පිහිටුවීමට ප්‍රමාණවත් වූයේ නැහැ.

කෙසේ වෙතත් ඊයේ දිනයේ VCK පක්ෂය සිය මන්ත්‍රීවරුන් දෙදෙනාගේ කොන්දේසි විරහිත සහයෝගය ලබා දීමට එකඟ වීමත් සමග විජෙයිට අවශ්‍ය වූ සමස්ත මන්ත්‍රී ධූර 118 සම්පූර්ණ වී තිබේ.

එසේම DMK මිත්‍ර පක්ෂයක් වන ඉන්දීය යූනියන් මුස්ලිම් ලීගය ද සහය පළ කර තිබූ අතර ඒ අනුව විජයිගේ සන්ධානය මන්ත්‍රීවරුන් 120 ක සුරක්ෂිත බහුතරයක් ලබා ගැනීමට සමත් වී ඇති බව සඳහන් ය.

මේ අතර, ත්‍රස්ත තර්ජනයක් හේතුවෙන් දිල්ලි නුවර  ආරක්ෂක විධිවිධාන තර කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඒ අනුව භාරතීය ජනතා පක්ෂ මූලස්ථානය සහ ඒ අසළ පිහිටි රජයේ ආයතනවල ආරක්ෂාව ඉහළ නංවා ඇති බවත්, අමතර සන්නද්ධ භට පිරිස් යෙදවීම, මාර්ග බාධක යෙදීම හා වාහන පරීක්ෂාව දැඩි කරන බවයි.

ඉන්දීය බුද්ධි අංශ වාර්තා කළේ, මරාගෙන මැරෙන ප්‍රහාර, වාහනවල සවිකළ පුපුරණ ද්‍රව්‍ය , වෙඩි තැබීම් සහ සම්බන්ධීකරණය කරන ලද ප්‍රහාර මගින් මධ්‍යම දිල්ලියේ ප්‍රමුඛ පෙළේ කාර්යාල සහ ජනාකීර්ණ ප්‍රදේශ ඉලක්ක කර ගැනීමට උත්සාහ කළ හැකි බවට ආරක්ෂක අංශ වෙත අනතුරු ඇඟවීම් කර ඇති බවයි.