භාරතීය ජනතා පක්ෂය ප්‍රාන්ත රජයේ දිවුරුම් දෙයි!

බටහිර බෙංගාලයේ නව පරිච්ඡේදයක් ඇරඹෙයි: භාරතීය ජනතා පක්ෂය ප්‍රාන්ත රජයේ දිවුරුම් දෙයි!

by Janitha Mendis 09-05-2026 | 3:39 PM

COLOMBO (News 1st) - ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ දේශපාලන ඉතිහාසය අලුතින් ලියමින්, එරට ප්‍රථම භාරතීය ජනතා පක්ෂ (BJP) ප්‍රාන්ත රජය අද (09) පෙරවරුවේ බලයට පත් විය.

කොල්කටාහි සුප්‍රකට බ්‍රිගේඩ් පරේඩ් (Brigade Parade) පිටියේදී පැවැති අභිමානවත් උත්සවයකදී, බටහිර බෙංගාලයේ නව මහ ඇමතිවරයා ලෙස සුවෙන්දු අධිකාරි (Suvendu Adhikari) ආණ්ඩුකාර ආර්.එන්. රවී ඉදිරියේ දිවුරුම් දුන්නේය.

වසර 15ක මමතා බැනර්ජි මහත්මියගේ පාලනය අවසන් කරමින් පසුගියදා පැවැති ප්‍රාන්ත මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂය ආසන 294කින් ආසන 207ක දැවැන්ත බහුතරයක් දිනා ගැනීමට සමත් විය. බටහිර බෙංගාලයේ තෘණමූල් කොංග්‍රසයට හිමිවූයේ ආසන 80ක් පමණි.
 
මෙම දිවුරුම් දීමේ අවස්ථාව සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ද එක්ව සිටි අතර, එය ලෝකපූජිත රබීන්ද්‍රනාත් තාගෝර් තුමාගේ 165 වන ජන්ම දිනය (පොචිෂේ බෝයිෂාක්) යෙදෙන අද වැනි දිනක පැවැත්වීම ද විශේෂත්වයකි.

නව මහ ඇමතිවරයා සමඟ අමාත්‍යවරුන් ලෙස දිලිප් ගෝෂ්, අග්නිමිත්‍රා පෝල්, නිසිත් ප්‍රමාණික්, අශෝක් කීර්තනියා සහ ක්ෂුදිරාම් ටුඩු යන මහත්ම මහත්මීන් ද දිවුරුම් දුන්හ.

දිවුරුම් දීමෙන් අනතුරුව ජනතාව ඇමතූ මහ ඇමති සුවෙන්දු අධිකාරි මහතා ප්‍රකාශ කළේ, "සෝනාර් බංග්ලා" හෙවත් රන්වන් බෙංගාලයක් ගොඩනැගීමේ අභියෝගය තමා භාර ගන්නා බවයි.