විදේශිකයන් 198ක් ගාල්ලේදී අත්අඩංගුවට

පරිගණක අපරාධ කළ බවට සැක විදේශිකයන් 198ක් ගාල්ලේදී අත්අඩංගුවට

by Staff writer 12-05-2026 | 12:14 PM

COLOMBO(News1st) - මෙරට රැඳී සිටිමින් පරිගණක අපරාධ සිදුකළ බවට සැකපිට විදේශිකයින් 198 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, ඊයේ රාත්‍රීයේ මිදිගම පිංවත්ත ප්‍රදේශයේ සංචාරක හෝටලයක් තුළ සිදුකල වැටලීමකින් එහි ලැගුම්ගෙන සිටි ඉන්දීය ජාතිකයින් 28 දෙනෙකු හා නේපාල ජාතිකයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ,  අවුරුදු 25ත් 35 අතර වයස්වල පසුවන පිරිසක්.

වීසා නොමැතිව මෙරට රැඳී සිටීම, සංචාරක වීසා මත පැමිණ රැකියාවල යෙදීම, තීරුබදු රහිතව ගෙන්වන ලද සිගරට් සන්තකයේ තබාගැනීම හා පරිඝණක අපරාධ පනතේ ගැනෙන අපරාධයන් සිදු කිරීම යන වැරදි සම්බන්ධයෙන් සැකපිට අදාළ පිරිස් අත්අඩංගුවට ගෙන විමර්ශන සිදු කරන බව පොලීසිය සඳහන් කළේය.

මේ අතර හික්කඩුව, දොඩන්දූව නවාතැන්පලක් තුළදී සිදුකළ වැටලීමකින් පරිඝණක අපරාධ පනතේ ගැනෙන වැරදි සිදු කිරීමට සැකපිට ඉන්දීය ජාතිකයින් 35 දෙනෙකු හා නේපාල ජාතිකයින් 20 දෙනෙකු හා ඔවුන්ට නවාතැන් පහසුකම් ලබාදුන් හෝටල් හිමිකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ සැකකරු සමග පරිඝනක යන්ත්‍ර 25ක්, ජංගම දුරකථන 119ක්, මුදල් රුපියල් හත්ලක්ෂ පනස් දහසක්, කාර් රථයක් හා ජීප් රථයක් සිය භාරයට ගෙන ඇති බවයි.

අත්අඩංගුවට ගත් විදේශීය සැකකරුවන් අවුරුදු 20ත් 48ත් අතර වයස්වල පසුවෙයි.

43 හැවිරිදි ලැගුම්හල් හිමිකරු දොඩම්දූව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ අතර ගාල්ල ගල්වඩුගොඩ හා ශ්‍රී සුමේධ මාවතේ සිදුකල වැටලීම්වලින් ලැගුම්හල් දෙකක් තුල නවාතැන් ගෙන සිටි ඉන්දීය ජාතිකයින් 110 දෙනෙකු පරිඝණක අපරාධ පනතේ ගැනෙන වැරදි සිදු කිරීමට සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය සඳහන් කලා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අවුරුදු 19 ත් 35 ත් අතර වයස්වල පසුවන පිරිසක්.

සැකකරුවන් සන්තකයේ තිබී පරිඝනක යන්ත්‍ර 5ක්, ජංගම දුරකථන 79ක්, පොලිස් භාරයට ගෙන තිබේ.

මේ අතර පරිගණක අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විදේශිකයින් සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුව පැවසුවේ, පරිගණක අපරාධ සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයින් පදිංචි රටවල සිට මෙරටට පැමිණෙන විදේශිකයින්ව ගුවන් තොටුපලේදි විශේෂ පරික්ෂාවකට ලකරන බවයි.

මෙරට රැඳී සිටින විදේශිකයින් සම්බන්ධයෙන්ද වෙනම පරික්ෂනයක් සිදු කරමින් සිටින බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.