වාහන ආනයන: රේගු බදු මත 50%ක අතිරේක බද්දක්

වාහන ආනයනයේදී පැනවූ රේගු බදු මත 50%ක අතිරේක බද්දක්

by Staff writer 16-05-2026 | 11:20 AM

COLOMBO(News1st) - ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන බදු මත  50%ක අතිරේක බද්දක් අද(16) සිට පැනවීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව, ආනයනික මෝටර් රථයක් සඳහා මෙතෙක් අය කළ 30%ක රේගු ආනයන බද්ද මත තවත් 50%ක අතිරේක බද්දක් පැනවෙනු ඇති.

ඒ අනුව සාමාන්‍ය බද්ද හා ප්‍රමුඛතා බද්ද මත  50%ක ආනයන තැන්පතු මුදල් ගෙවිය යුතු වේ

පුද්ගල ප්‍රවාහන මෝටර් රථ, බස් රථ, ජීප් රථ, වෑන් රථ, භාණ් ප්‍රවාහන වාහන , ගිලන් රථ , මෝටර් රථ හා  ඉඩම් වාහනවලට ද එම අතිරේක බදු අදාළ වේ.

හයිබ්‍රිඩ් වාහන කාණ්ඩය යටතේ ඇති පූර්ණ විදුලි වාහන හා හයිබ්‍රිඩ් වාහනවලට ද එම අතිරේක බද්ද බලාත්මක වේ.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනය අනුව අද(16)  සිට මාස 03ක කාලසීමාවක් සඳහා මෙම 50%ක අතිරේක බදු ගාස්තුව අය කිරීමට නියමිතයි.

කෙසේ වෙතත් මැයි 15 හෝ ඊට පෙර ණයවර ලිපි විවෘත කර ඇති වාහන සඳහා මෙම නව 50%ක රේගු බද්ද බලනොපාන බව ද එහි දැක්වේ.