.webp)

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ රාජ්‍ය සමුළුව ඊයේ දිනයේ (24) වොෂින්ටන් හි ධවල මන්දිරයේදී පැවැත්විණි.
ලොව විශාලතම ආර්ථිකයන් හිමිකරුවන් වන දෙරට අතර පවතින සබඳතා සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් අවධානය යොමු වුවද, වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී තිබේ.
ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික විරාමය 2027 ජනවාරි 10 වැනිදා දක්වා දීර්ඝ කිරීමට දෙරට එකඟ විය.
AI තාක්ෂණය සඳහා නව රාජ්‍ය නියාමන පැනවීමට ජනාධිපති ට්‍රම්ප් විරුද්ධ වූ අතර, ජනාධිපති ෂී ජින්පින් අවධාරණය කළේ AI තාක්ෂණය සෑම විටම මිනිස් පාලනය යටතේ තබා ගැනීමට ගෝලීය ආරක්ෂණ ක්‍රමවේද අත්‍යවශ්‍ය බවයි.
තායිවාන ප්‍රශ්නය සම්බන්ධයෙන් ඇමරිකාව ඉතා "පරීක්ෂාකාරීව" කටයුතු කළ යුතු බවත්, තායිවානයේ ස්වාධීනත්වයට සෘජුවම විරුද්ධ විය යුතු බවත් බෙයිජිං පාලනය අවධාරණය කළේය.
හමුදාමය ගැටුම් වළක්වා ගනිමින් උපායමාර්ගික අවදානම් කළමනාකරණය සඳහා නිත්‍ය හමුදාමය සංවාද පැවැත්වීමේ වැදගත්කම ජනාධිපති ෂී ජින්පින් පෙන්වා දුන්නේය.
මෙම සමුළුවේ ආසන්නතම ආර්ථික ප්‍රතිඵලය වූයේ ඇමරිකා - චීන වෙළඳ අර්බුදයට තාවකාලික සහනයක් හිමිවීමයි. ලබන නොවැම්බර් මාසයෙන් අවසන් වීමට නියමිතව තිබූ තීරුබදු තාවකාලිකව අත්හිටුවීමේ ගිවිසුම 2027 ජනවාරි 10 වැනිදා දක්වා තවත් මාස දෙකකින් දීර්ඝ කිරීමට දෙරට එකඟ වූ බව ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් (Scott Bessent) තහවුරු කළේය.
කෙසේ වෙතත්, මෙමගින් මූලික ආර්ථික ගැටලුවලට ස්ථිර විසඳුමක් ලැබී නොමැත. ඇමරිකානු සෝයා බෝංචි මිලදී ගැනීමේ ඉලක්ක චීනය සපුරාලමින් සිටියද, අනෙකුත් කෘෂිකාර්මික නිෂ්පාදන සහ දුර්ලභ ඛනිජ ද්‍රව්‍ය (rare-earth minerals) අපනයනය සම්බන්ධයෙන් වූ පොරොන්දු ඉටුකිරීමේදී චීනය පසුපසින් සිටින බව ඇමරිකානු බලධාරීහු පවසති.
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය පාලනය කිරීම සම්බන්ධයෙන් නායකයින් දෙපළ අතර පැහැදිලි මතභේදයක් දක්නට ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
AI තාක්ෂණය "Super Intelligence" (අතිවිශේෂ බුද්ධිය) ලෙස හැඳින්වූ ජනාධිපති ට්‍රම්ප්, ඒ සඳහා පවත්නා ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය හැර අලුතින් රාජ්‍ය නියාමන පැනවීමට විරුද්ධ බව ප්‍රකාශ කළේය.
තාක්ෂණික වශයෙන් ඉදිරියෙන්ම සිටින රටවල් ලෙස ඇමරිකාවට සහ චීනයට AI තාක්ෂණය මානව යහපත උදෙසා කළමනාකරණය කිරීමේ වගකීමක් ඇති බවත්, එය සැමවිටම මිනිස් පාලනය යටතේ පැවතිය යුතු බවත් ජනාධිපති ෂී ජින්පින් අවධාරණය කළේය.
මෙම රාත්‍රී භෝජන සංග්‍රහයට Alphabet (Google) හි සුන්දර් පිචායි, OpenAI හි සෑම් ඕල්ට්මන්, Nvidia හි ජෙන්සන් හුවැන්ග්, Tesla හි ඉලෝන් මස්ක් සහ Apple හි ටිම් කුක් ඇතුළු ජාත්‍යන්තර තාක්ෂණික දැවැන්තයින් රැසක් එක්ව සිටියහ.
සාකච්ඡා අතරතුරදී ජනාධිපති ෂී ජින්පින් තායිවාන අර්බුදය කෙරෙහි දැඩි අවධානයක් යොමු කළේය. චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ දෙරට අතර උපායමාර්ගික සහයෝගීතාවයට ශක්තිමත් පදනමක් දැමීම සඳහා ඇමෙරිකාව තයිවාන ප්‍රශ්නය සම්බන්ධයෙන් ඉතා ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු බව ෂී ජින්පින් පැවසූ බවයි.
එමෙන්ම, තායිවානයේ ස්වාධීනත්වයට ඇමෙරිකාව සෘජුවම විරුද්ධ විය යුතු බවට බෙයිජිං පාලනය බලපෑම් කළේය. කෙසේ වෙතත්, පවත්නා ඇමරිකානු නීතියට අනුව තයිවානයට ආරක්ෂක පහසුකම් සැපයීමට ඇමරිකාව බැඳී සිටින අතර, ස්ථාවර ප්‍රතිපත්තියේ වෙනසක් සිදු කරන බවට වොෂින්ටන් පාලනයෙන් කිසිදු ඉඟියක් ලැබී නොමැත.
භූ-දේශපාලනික තත්ත්වය පැහැදිලි කරමින් ජනාධිපති ෂී ජින්පින් "තූසිඩිඩීස් උගුල" (Thucydides Trap) නැමැති ඓතිහාසික හා දේශපාලනික සංකල්පය මෙහිදී උපුටා දැක්වීය. නැගී එන බලවතා සහ පවත්නා බලවතා අතර සිදුවන සන්නද්ධ ගැටුම් වැළැක්වීම සඳහා අන්‍යෝන්‍ය සහයෝගීතාවය සහ නිරන්තර හමුදාමය සංවාද පැවැත්වීමේ වැදගත්කම ඔහු පෙන්වා දුන්නේය. ජනාධිපති ට්‍රම්ප් ද දෙරට අතර පවතින ඓතිහාසික සබඳතා සිහිපත් කරමින් ආර්ථික සහයෝගීතාවයේ ඇති හැකියාව පෙන්වා දුන්නේය.
රාජ්‍ය නායකයින් දෙපළගේ විවිධ රාජ්‍ය තාන්ත්‍රික ශෛලීන් මෙම සමුළුවේදී කැපී පෙනුණි. ජනාධිපති ට්‍රම්ප් තම පෞද්ගලික මිත්‍රත්වය සහ ආගන්තුක සත්කාරය පදනම් කරගනිමින් සාකච්ඡා මෙහෙයවූ අතර, චීන ජනාධිපති ෂී ජින්පින් චීන ව්‍යාපාර සඳහා සමාන සැලකිල්ලක් දැක්වීම සහ ජාතික ස්ථාවරත්වය කෙරෙහි අවධානය යොමු කරමින් වඩාත් ආයතනික ප්‍රවේශයක් අනුගමනය කළේය.
මනා රාජ්‍ය තාන්ත්‍රික සංග්‍රහයන් පැවැත්වුණද, තාක්ෂණික අපනයන පාලනය, ආසියානු කලාපීය ආරක්ෂක අර්බුද සහ ආර්ථිකමය තරඟකාරීත්වය වැනි මූලික ගැටලු තවදුරටත් ඇමරිකා - චීන සබඳතාවල ඉදිරි ගමන තීරණය කරන ප්‍රධාන සාධක බව දේශපාලන විලේෂකයෝ පවසති.
