අදත් ප්‍රදේශ රැසකට තද වැසි...

අදත් ප්‍රදේශ රැසකට තද වැසි...

by Staff writer 06-10-2026 | 10:28 AM

COLOMBO(News1st) - බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ දකුණු පළාත්වල සහ අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්කවල පස්වරු 1න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර, මහනුවර දිස්ත්‍රික්කයේ මිනිපේ සහ උඩුදුම්බර, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට ,මාතලේ දිස්ත්‍රික්කයේ අඹන්ගඟ කෝරලය, මාතලේ සහ රත්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට අදියර දෙක යටතේ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් බලාත්මකයි.

මහනුවර දිස්ත්‍රික්කයේ උඩපලාත, කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, රඹුක්කන, රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිගෙපොල, ඇහැලියගොඩ , රත්නපුර, කුරුවිට සහ අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 01 යටතේ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.