නාගොඩ, වෙඩිතැබීමෙන් තුවාල ලැබූ කාන්තාව මරුට

කළුතර නාගොඩ, වෙඩිතැබීමෙන් තුවාල ලැබූ අවන්හල් හිමිකරුගේ බිරිඳ මරුට..

by Staff writer 11-10-2026 | 8:19 AM

COLOMBO(News1st) - කළුතර නාගොඩ, ගල්ලස්ස ප්‍රදේශයේදී සිදුවූ වෙඩිතැබීමෙන් බරපතල තුවාල ලබා රෝහල්ගත කළ අවන්හල් හිමිකරුගේ බිරිඳ මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, ඇය නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම මියගිය බවයි.

මියගොස් ඇත්තේ 52 හැවිරිදි දොඩංගොඩ ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණි.

පොලීසිය පැවසුවේ, මඩකලපුව ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගත් බවයි.

පසුගිය සිකුරාදා සිදුවූ වෙඩි තැබීමෙන් 54 හැවිරිදි අවන්හල් හිමිකරු මියගොස් ඔහුගේ බිරිඳ බරපතල තුවාල ලැබුවේ.

පොලිසිය සඳහන් කළේ, යතුරුපැදියකින් අවන්හල වෙත පැමිණි දෙදෙනෙකු විසින් T56 ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

වෙඩි වැදීමෙන් මිය ගිය ව්‍යාපාරිකයා කලකට ඉහතදී පුද්ගල ඝාතනයක් සම්බන්ධ සැකකරුවෙකු ලෙස හඳුනා ගෙන තිබුණි.

කෙසේ වෙතත් එම නඩු කටයුතු මේ වනවිට අවසන්ව ඇති බවත් පොලිසිය ප්‍රකාශ කළේ ය.