.webp)

වාර්තාව මඟින් අනාවරණය කර ඇත්තේ, පළමුව ලක්ෂපාන විදුලි බලාගාරයේ පළමු ඒකකයේ විදුලි ජනනය හදිසියේ පහත වැටී ඇති බවයි.
මෙම වාර්තාව සකස් කර ඇත්තේ පද්ධති කියාකරු සමාගම විසින් ය.
ලක්ෂපාන විදුලි බලාගාරයේ පළමු ඒකකයේ විදුලි ජනනය හදිසියේ පහත වැටීම හේතුවෙන් එහි විදුලි ජනන ධාරිතාව මෙගාවොට් 187 සිට මෙගාවොට් 5 දක්වා, මිලි තත්පර 450ක් ඇතුළත පහත වැටී තිබේ.
එමඟින් ජාතික විදුලි පද්ධතියේ සංඛ්යාතය තත්පර 2ක් ඇතුළත හර්ට්ස් 49 යි දශම 906 සිට 48 දශම 75 දක්වා පහත වැටී ඇති බව සඳහන්.
මෙම තත්ත්වය හේතුවෙන් විදුලි පද්ධතිය ආරක්ෂා කරගැනීමට ක්රියාත්මක වන අන්ඩර් ෆ්ක්රීක්වන්සි ලෝඩ් ෂෙඩින්ග් ආරක්ෂණ පද්ධතියේ අදියර පහම ක්රියාත්මක වී තිබේ.
අවසානයේ විදුලි බලාගාරවලින් විදුලි ජනනය නතර වීමත් සමග දිවයින පුරා ජාතික විදුලි පද්ධතියේ බිඳවැටීම ආරම්භ වුණේ පසුගිය 17 වැනිදා පෙරවරු 11 යි 43 ට පමණයි.
විදුලි පද්ධතිය බිඳවැටීම ආරම්භ වීමත් සමඟ බලාගාර කිහිපයක විදුලි ජනන ඒකක ක්රියා විරහිත වී ඇතැයි අදාළ වාර්තාවේ සඳහන්.
ඒ අතරට,
ලක්ෂපාන විදුලි බලාගාරයේ ඒකක කිහිපයක්.
නව ලක්ෂපාන විදුලි බලාගාරය.
පොල්පිටිය විදුලි බලාගාරය.
වික්ටෝරියා විදුලි බලාගාරය.
සමනලවැව විදුලි බලාගාරය.
පැරණි ලක්ෂපාන විදුලි බලාගාරය.
ඉහළ කොත්මලේ විදුලි බලාගාරය.
කුකුළේගඟ විදුලි බලාගාරය ඇතුළත්.
මෙම බලාගාරවල විදුලි ජනන ඒකක විවිධ ආරක්ෂණ හේතු මත ක්රියා විරහිත වී ඇති බව වාර්තාවේ සදහන් ය.
විදුලි පද්ධතිය බිඳවැටීමෙන් පසුව යළි විදුලිය ලබාදීම සඳහා ප්රධාන පද්ධති හතරක් ඔස්සේ ප්රතිසංස්කරණ කටයුතු ආරම්භ කර තිබුණි.
ඒ අතරට මහවැලි විදුලි පද්ධතිය.
ලක්ෂපාන විදුලි පද්ධතිය.
සමනල සහ දකුණු පද්ධතිය.
කොළඹ විදුලි පද්ධතිය ඇතුළත්.
වාර්තාවට අනුව පළමු විදුලි උපපොළ නැවත සක්රීය කර ඇත්තේ පස්වරු 12.37 ටයි.
පස්වරු 4 යි 58 වන විට අවසන් විදුලි උපපොළ නැවත සක්රීය කර තිබුණි.
සම්පූර්ණ ජාතික විදුලි සම්ප්රේෂණ පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමට පැය 5යි මිනිත්තු 15ක් ගතවී තිබේ.
විදුලි සැපයුම නැවත ආරම්භ කිරීමේදී ඇතැම් බලාගාරවල තාක්ෂණික ගැටලු ඇතිවී තිබුණි.
ඒ අනුව යුගදනවි බලාගාරයේ ටර්නින් ජියර් පද්ධතියේ ගැටලුවක්, සෝභාදනවි බලාගාරයේ ආරම්භක ක්රියාවලියේ ගැටලුවක්,
නැප්තා මගින් ක්රියාත්මක වන කැළණිතිස්ස සංයුක්ත චක්රීය විදුලි බලාගාරයේ ස්ටෑන්ඩ්බයි ඩීසල් ජෙනරේටර් සම්බන්ධ ගැටලුවක් හා
ඩීසල් මඟින් ක්රියාත්මක වන කැළණිතිස්ස සංයුක්ත චක්රීය විදුලි බලාගාරයේ බලාගාරයේ පද්ධතිය යථා තත්ත්වයට පත්වීම සඳහා අමතර කාලයක් ගතවීම,
හේතුවෙන් ඇතැම් බලාගාර නැවත විදුලි පද්ධතියට සම්බන්ධ කිරීම ප්රමාද වී තිබේ.
විදුලි පද්ධතියේ සංඛ්යාතය අඩු වූ විට සමස්ත පද්ධතිය ආරක්ෂා කරගැනීම සඳහා අඩු සංඛ්යාතයක් යටතේ ස්වයංක්රීයව ඉල්ලුම කළමණාකරණ ක්රමවේදය ස්වයංක්රීයව විදුලි සැපයුම විසන්ධි කරන පද්ධතියක් ලෙස ක්රියා කරයි.
මෙම සිදුවීමේදී එහි අදියර 5ම ක්රියාත්මක වී ඇති බවත් වාර්තාවේ සඳහන් ය.
ඒ අනුව සමස්ත විදුලි ඉල්ලුමෙන් 39.6% ක ප්රමාණයක විදුලි බර මෙම ආරක්ෂණ ක්රියාවලිය යටතේ විසන්ධි වී තිබේ.
