රැළිවලදී ලැබුණු ආදරය ඡන්ද විමසීමේදී ලැබී නැහැ..

මැතිවරණ රැළිවලදී තමන්ට ලැබුණු ජනතා ආදරය ඡන්ද විමසීමේදී ලැබී නැහැ - ජනපති ට්‍රම්ප්

by Staff writer 05-11-2026 | 10:16 AM

COLOMBO (News 1st) - මැතිවරණ රැළිවලදී තමන්ට ලැබුණු ජනතා ආදරය, ඡන්ද විමසීමේදී ලැබී නැතැයි, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඒ , ඩිමොක්‍රටික් පක්ෂය වත්මන් පාලක පක්ෂය වන රිපබ්ලිකන් පක්ෂයට එරෙහිව මධ්‍යවාර මැතිවරණයේ ඓතිහාසික ජයග්‍රහණයක් ඊයේ (04) වාර්තා කිරීමෙන් පසු පළමු වරට මාධ්‍ය ඉදිරියේ සජීවීව පෙනී සිටිමිනි.

ධවල මන්දිරයේ කොටසක් කඩා ඉවත් කොට, ට්‍රම්ප් ඉදිකරමින් ඇති නව බෝල්රූම් ශාලාවේ සිට ඔහු මාධ්‍ය වෙත අදහස් දැක්වීය.

මුලින් මැතිවරණ ප්‍රතිඵල පිළිබඳ අදහස් දැක්වීම පසෙකලා ඇමරිකානු ජනාධිපතිවරයා අදාළ උත්සව ශාලාවේ ව්‍යුහයේ ශක්තිමත්භාවය සහ ඉදිකිරීම් සඳහා යොදා ගත් කිරිගරුඬ පිළිබඳව ප්‍රකාශ සිදුකිරීම විශේෂත්වයකි.

කෙසේ නමුත් අවසානයේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ට්‍රම්ප් සඳහන් කළේ, රිපබ්ලිකන් පක්ෂයේ පරාජයන්ට ඉරාන යුද්ධය හේතු වූ බවට වන අදහස "බොහෝ දුරට සත්‍යයක්" බවයි.

කෙසේ වෙතත්, එවැනි තත්ත්වයක් යළි උද්ගත වුවහොත් යුද්ධය සම්බන්ධයෙන් තමන් ගත් පියවර ඒ අයුරින්ම අනුගමනය කරන බවත්, ඡන්දදායකයින් කණස්සල්ලට පත් කළේ යුද්ධය නොව, ඉන්ධන මිල ඉහළ යාම බවත් ට්‍රම්ප් සඳහන් කළේ ය.

මේ අතර ඩිමොක්‍රටික් පක්ෂයට කොන්ග්‍රසයේ බලය හිමිවන පසුබිමක තමාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එනු ඇතැයි, ඔහු කණස්සල්ලට පත්ව සිටීදැයි මාධ්‍යවේදියෙකු ට්‍රම්ප්ගෙන් විමසා සිටියේ ය.

ඊට පිළිතුරු දෙමින් ට්‍රම්ප් සඳහන් කළේ, එවැනි දෝෂාභියෝගයක් ගෙන එන්නේ නම් ඩිමොක්‍රටික් පක්ෂය විනාශ වනු ඇති බවයි.

ඩිමොක්‍රටික් පක්ෂයේ යෝජනා තමන්ට නිශේධ බලය යොදා අවහිර කළ හැකි බවත්, ඇමරිකාව දැන් එරට ඉතිහාසයේ අන් කවරදාටත් වඩා සාර්ථක තත්ත්වයක පවතින බවත් ට්‍රම්ප් පෙන්වා දෙයි.

මීට පෙර ට්‍රම්ප්ගේ පළමු ධුර කාලය තුළ 2019 වසරේ සහ 2021 වසරේදී ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය දෝෂාභියෝග ගෙන ආ නමුත් එම යෝජනා සෙනෙට් සභාව හමුවේ ප්‍රතික්ෂේප විය.

ඩිමොක්‍රටික් පක්ෂයේ ජයග්‍රහණය හමුවේ, ඊයේ ඇමරිකානු ධවල මන්දිරයේ නිල සමාජ මාධ්‍ය ගිණුම් හරහා තවදුරටත් ඇමරිකාවේ ජනාධිපතිවරයා ඩොනල්ඩ් ට්‍රම්ප් බව සිහිගන්වමින් සටහන් නිකුත් කිරීමට සිදුවීමත් ජාත්‍යන්තරයේ අවධානයට ලක්ව ඇත.

මෙවර මධ්‍යවාර මැතිවරණයේ ඇතැම් ප්‍රතිඵල ඇමරිකානු දේශපාලන ඉතිහාසයේ වාර්තා, අලුත් කිරීමට සමත් වී තිබීම විශේෂත්වයකි.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ දැනට පුරෝකථනය කර ඇති ප්‍රතිඵලවලට අනුව ආසන 435න් ආසන 237ක බලය ඩිමොක්‍රටික් පක්ෂයටත්, ආසන 139ක් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයටත් හිමිව තිබේ.

ආසන 100කින් සමන්විත සෙනෙට් සභාවේ මෙවර මැතිවරණය පැවැත්වූයේ ආසන 33ක් වෙනුවෙන් පමණයි.

නව පත්වීම් සමඟින් එහි ආසන 54ක් දැන් ඩිමොක්‍රටික් පක්ෂය සතු වන අතර රිපබ්ලිකන් පක්ෂයට ආසන 44ක් හිමිව තිබේ.