UPI අද සිට මෙරට ඇරඹේ

ඉන්දියාවේ ප්‍රචලිත අනන්‍ය ගෙවීම් වේදිකාව හෙවත් UPI අද සිට මෙරට ඇරඹේ

by Staff writer 12-02-2024 | 6:01 AM

COLOMBO (News 1st) - ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අනන්‍ය ගෙවීම් වේදිකාව හෙවත් UPI අද (12) සිට ආරම්භ කරන බව විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.

අනන්‍ය ගෙවීම් වේදිකාව හෙවත් UPI යනුවෙන් හඳුන්වන්නේ ජංගම දුරකතනයක් භාවිතයෙන් ක්ෂණිකව පුද්ගලයාගෙන් පුද්ගලයාට හෝ පුද්ගලයාගෙන් වෙළෙන්දාට ගනුදෙනු සඳහා පහසුකම් සපයන ඩිජිටල් ගෙවීම් පද්ධතියකි.

2016 වසරේ ඉන්දියාව තුළ ආරම්භ කෙරුණු මෙය දැනට ඉන්දියාව තුළ ජනප්‍රියම ගෙවීම් ක්‍රමවේදය ද වනු ඇත. 

විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පැවසුවේ, UPI හෙවත් අනන්‍ය ගෙවීම් වේදිකාව මාර්ගගත ක්‍රමය හරහා අද දිනයේ නිල වශයෙන් දියත් කෙරෙන බවයි.

මෙම ක්‍රමය කොළඹ කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරෙන බවත් එමගින් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ඉහළ නැංවීමට හැකිවනු ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මෙම අනන්‍ය ගෙවීම් වේදිකාව සම්බන්ධ ගිවිසුම අත්සන් කෙරුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දෙදින නිල සංචාරය අතරතුරදීයි.