ජාතික කලාභවන මේ වසරේ විවෘත කිරීමට පියවර ගන්න

ජාතික කලාභවන වසර අවසන් වීමට පෙර විවෘත කිරීමට පියවර ගන්නැයි ජනපතිගෙන් උපදෙස්..

by Staff writer 28-03-2024 | 6:05 AM

COLOMBO (News 1st) - වසා දමා ඇති ජාතික කලාභවන මේ වසර අවසන් වීමට පෙර විවෘත කිරීමට පියවර ගන්නා ලෙස ජනපති නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

ඒ, වසර 13ක් තිස්සේ නිම කිරීමට අපොහොසත් වී ඇති ජෝන් ද සිල්වා සමරු රඟහල සහ වසා දමා ඇති ජාතික කලාභවන පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

ජාතික කලාභවන විවෘත කිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට රජය සූදානම් බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

2011 වසරේ ඉදිකිරීම් ඇරඹුණ ද‍ තවමත් රඟහලෙහි කාර්යයන් අවසන් කරලීමට හැකි වී නැත.

මේ වනවිට ජාතික කලාභවනෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ද ඇණහිට තිබේ.

ලුම්බිණි රඟහල සහ නව රඟහල යළිත් නාට්‍ය කලාව වෙනුවෙන් පණ ගැන්වීමේ හැකියාව පිළිබඳව සොයා බලන ලෙස නිලධාරීන්ට පැවසු ජනාධිපතිවරයා කොළඹ සුදර්ශී පරිශ්‍රයේ නාට්‍ය රඟහලක් ඉදිකිරීම සඳහා පියවර ගන්නා ලෙස ද අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේ ය.

නෙළුම් පොකුණ‍, ⁣කලාභවන‍, ජෝන් ද සිල්වා සමරු රඟහල‍‍, කෞතුකාගාරය‍ සහ ඒ ආශ්‍රිත පරිශ්‍රයන් එක් කර ගනිමින් ජාතික සංස්කෘතික කලාපයක් නිර්මාණය කරලීම වැදගත් බව මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී තිබේ.