මෝදිගේ දිවුරුම් දීමේ උත්සවයට සියල්ල සූදානම්..

මෝදිගේ දිවුරුම් දීමේ උත්සවයට සියල්ල සූදානම්: ජනපති රනිල් ඇතුළු රාජ්‍ය නායකයින් රැසක් ඉන්දියාවට

by Staff writer 08-06-2024 | 6:02 PM

COLOMBO (News 1st) - ඉන්දීය අග්‍රාමාත්‍ය ධූරය සඳහා නැවතත් තේරී පත් ශ්‍රී නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම් දීමේ උත්සවය හෙට (09) රාශ්ට්‍රපති භවන්හිදී පැවැත්වීමට නියමිතයි. 

අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම ද හෙට සිදු කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.

73 හැවිරිදි නරේන්ද්‍ර මෝදී හෙට දිනයේ ඉන්දිය අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලබන්නේ තුන්වැනි වරටයි. 

මේ වනවිට අගනුවර ආරක්ෂාව තර කර ඇති ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.

උත්සවය සඳහා විවිධ වෘත්තීකයන් සහ කලා ශිල්පීන් ඇතුළු අමුත්තන් 8,000 කට අධික පිරිසක් සහභාගී වීමට නියමිතයි.

මෙවර උත්සවයේ තේමාව වී ඇත්තේ අසල්වැසියාට ප්‍රමුඛත්වය යන්නයි. 
  
ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ, මාලදිවයිනේ ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු, සීෂෙල්ස් උප ජනාධිපති අහමඩ් අෆීෆ්, බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා, මොරිෂස් අගමැති ප්‍රවින්ද් කුමාර් ජුග්නවුත්, නේපාල අගමැති පුෂ්ප කමල් දහල් සහ භූතාන අග්‍රාමාත්‍යවරයා රාජ්‍ය නායකයින් ලෙස දිවුරුම් දීමේ අවස්ථාවට ආරාධිතයින් ලෙස එක්වීමට නියමිතයි. 

මේ අතර අද පස්වරුවේ බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා ඉන්දියාවට සම්ප්‍රාප්ත විය.

දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීමෙන් පසු රාජ්‍ය නායකයින් එදින සවස රාෂ්ට්‍රපති භවන්හිදී ජනාධිපති ද්‍රෞපදි මුර්මු විසින් පවත්වනු ලබන භෝජන සංග්‍රහයකට සහභාගීවීමට ද නියමිතය.