හතුරුසිංහගේ සේවය අත්හිටුවයි

හතුරුසිංහගේ සේවය අත්හිටුවයි..

by Staff writer 15-10-2024 | 5:15 PM

COLOMBO ( News 1st ) - බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහගේ සේවය  වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට එරට ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

චන්දික හතුරුසිංහ පළමු වරට 2014 වසරේ සිට 2017 වසර දක්වා බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළේ ය.

දෙවැනි වරට ඔහු බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයට පත් වූයේ පසුගිය වසරේ පෙබරවාරි මාසයේ සිටය.

විනය නීති කඩකිරීමත් හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි පැය 48ක කාලයක් සඳහා හතුරුසිංහගේ සේවය බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය අද (15) වාර්තා කළේ ය.

එම වාර්තා පෙන්වා දෙන්නේ ක්‍රීඩකයෙකුට පහරදීම සහ ඔහුගේ ගිවිසුම කඩ කිරීමේ චෝදනා හතුරුසිංහට එල්ල වී ඇති බවය.

ඔහුව සේවයෙන් පහකිරීමට වැඩි ඉඩක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

බංග්ලාදේශය වසර 15කට පසුව විදෙස් රටකදී ටෙස්ට් තරගාවලියක් ජය ගත්තේ ද හතුරුසිංහගේ පුහුණුකාරීත්වය යටතේ ය.

එම ජයග්‍රහණයෙන් පසුව ඉන්දියාව සමග පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2ට 0ක් ලෙස බංග්ලාදේශය පරාජයට පත් විය.