කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්..

කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්...

by Staff writer 15-10-2024 | 10:44 PM

COLOMBO ( News 1st ) - සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි දෙවැනි පන්දුවාර විස්සයි ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 73කින් ජය ගත්තේ ය.

ලකුණු 163ක ඉලක්කයක් හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුයේ ලකුණූ 89 ක් පමණි.

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසිය වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේ ය.

ශ්‍රී ලංකා කණ්ඩායම අද පිටියට පිවිසියේ පළමු තරගයට වඩා වෙනස්කම් දෙකක් සමගින් ය.

දුනිත් වෙල්ලාලගේට අද විස්සයි විස්ස වරම් හිමි වූ අතර නුවන් තුෂාර ද කණ්ඩායමට කැඳවා තිබුණේ ය.

ඒ, චමිදු වික්‍රමසිංහ සහ අසිත ප්‍රනාන්දු වෙනුවටයි.

පැතුම් නිස්සංක සමගින් කුසල් මෙන්ඩිස් විසින් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ ය.

ඔවුන් දෙදෙනා ලකුණු 77ක සබඳතාවයක් ගොඩනගමින් සාර්ථක ආරම්භක් ලබා ගත්තේය.

කුසල් මෙන්ඩිස් ලකුණු 26 ක් රැස් කළ අතර පන්දුවාර විස්සයි විස්ස පිටියේ සිය 12වැනි අර්ධ ශතකය පැතුම් නිස්සංක අද රැස් කළේ ය.

කුසල් ජනිත් පෙරේරා ලකුණු 24ක් රැස් කළ අතර ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 162ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසියේ බ්‍රැන්ඩන් කිංග් සහ එවින් ලුවිස් ය.

ඔවුන් දෙදෙනාට පිටියේ ස්ථාවර වන්නට ඉඩ නොදුන් දුනිත් වෙල්ලාලගේ බ්‍රැන්ඩන් කිංග්ගේ කඩුල්ල දවා ගත්තේය.

ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ක්‍රීඩාගාරයට යවමින් මහීෂ් තීක්ෂණ එවින් ලුවිස් දවා ගත්තේ ලකුණු 7කටයි.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ පළමු කඩුලු 5 ලකුණු 38කදී බිද වැටුණි.