කැනඩා - ඉන්දියා ගැටලුව දිග් ගැස්සෙයි..

කැනඩා - ඉන්දියා ගැටලුව දිග් ගැස්සෙයි..

by Hashini De Mel 15-10-2024 | 2:32 PM

COLOMBO (News1st) - කැනඩාව සහ ඉන්දියාව, දෙරටේ,  රාජ්‍ය තාන්ත්‍රිකයින් නෙරපා හැරීමට මුල් වූ ඝාතන සිද්ධියට, ඉන්දීය අපරාධ කල්ලියක් සම්බන්ධ යැයි කැනේඩියානු පොලීසිය අනාවරණය කර ති‌‌බේ.

ඉන්දීයාවේ ප්‍රබල අපරාධ කල්ලියක් යැයි කියන බිෂ්නෝයි කල්ලිය කැනඩාවේ වෙසෙන දකුණු ආසියානු ප්‍රජාවටද විවිධ බලපෑම් එල්ල කරන බවට තොරතුරු වාර්තා වී ඇතැයි ඔවුන් පවසයි.

එම අපරාධ කල්ලිය,  ඉන්දීය බලධාරීන් සමඟ සබදතා පවත්වන බවට අනාවරණය වී ඇති බවත් කැනේඩියානු පොලිසිය ඊයේ(14) සඳහන් කළේය.

ඉන්දියාවේ සිරගතව සිටින ලෝරන්ස් බිෂ්නෝයි නමැති පුද්ගලයෙකු විසින් මෙහෙයවන බවට සැක කෙරෙන අදාල අපරාධ කල්ලියට, පසුගියදා මහාරාෂ්ට ප්‍රාන්තයේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයා ඝාතනය කිරීම සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වී තිබේ.

මෙවැනි පසුබිමක කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ සදහන් කළේ   ඉන්දීය මහ කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන් නෙරපා හැරියේ, සිය රට වැසියන් ආරක්ෂා කර ගැනීම සඳහා අතිරේක පියවරක් ලෙස බවයි.

පසුගිය වසරේදී කැනේඩියානු පුරවැසියෙකු සහ, සික්හ් ආගම් බැතිමතෙකු වන හර්දීප් සින්ග් නිජ්ජර් නම් පුද්ගලයා බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේදී ඝාතනය වීමේ සිද්ධිය හේතුවෙන් මේ වන විට ඉන්දියාව සහ කැනඩාව අතර මතුවී ඇත්තේ දැඩි අර්බුධකාරී තත්ත්වයක්.

කෙසේ නමුත් ඉන්දියාව,, මෙම සියලු චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

කැනේඩියානු සහ ඉන්දීය, මහ කොමසාරිස්වරුන් ඇතුළු,රාජ්‍ය තාන්ත්‍රිකයින් නෙරපා හැරීමට දෙපාර්ශවය ඊයේ(14) පියවර ගත්තේ එවැනි පසුබිමකදීය.