නවසීලන්ත කෙල්ලෝ අවසන් සටනට..

නවසීලන්තය T20 කාන්තා ලෝක කුසලානයක තුන්වන වර⁣ටත් අවසන් මහා තරගයට..

by Staff writer 19-10-2024 | 9:27 AM

COLOMBO (News1st) - පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ තුන්වැනි වරටත් නවසීලන්තය අවසන් මහා තරගයකට පිවිසීමේ අවස්ථාව උදා කර ගත්තේය.

ඒ, මෙවර තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජයට පත් කරමින්ය.

සාජාහීදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 128ක් රැස් කළේය.

ලකුණු 129ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට නවසීලන්ත දක්ෂ පන්දු යැවීම හමුවේ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කිරීමට හැකි වුයේ ලකුණූ 120ක් පමණි.

ඒ අනුව, පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය තුළ නවසීලන්තය අවසන් මහා තරගයක් ක්‍රීඩා කරන්නේ 2010 වසරෙන් පසුව වීම විශේෂත්වයකි.

ඔවුන් 2009 සහ 2010 වසර වලදී අවසන් මහා තරග ක්‍රීඩා කර ඇති අතර අනුශූරතාවයෙන් සෑහීමකට පත් වීමට සිදු විය.

නවසීලන්තය මෙවර තරගාවලිය ජය ගතහොත් එය ඔවුන්ගේ කුළුදුල් පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන වනු ඇත.

දකුණු අප්‍රිකාව සමග අවසන් මහා තරගය ඩුබායිහීදී හෙට(20) පැවැත්වේ.

රටේ ප්‍රධාන භාෂාත්‍රයම ආවරණය වන නාලිකාවලට හිමිකම් කියන  MTV මාධ්‍ය ජාලයට අයත් ටී.වී වන් නාලිකාව ඔස්සේ සහ www.sirasatv.lk වෙබ් අඩවිය ඔස්සේ තරගාවලියේ අවසන් මහා තරගය ඔබට සජීවිව නැරඹිය හැකියි.