දේශබන්දු තෙන්නකෝන්ගේ රිට් පෙත්සම ඉවතට..

තමා අත්අඩංගුවට ගැනීමේ නියෝගය අත්හිටුවන අතුරු තහනමක් ඉල්ලා දේශබන්දු ගොනු කළ රිට් පෙත්සම ප්‍රතික්ෂේපයි

by Staff writer 17-03-2025 | 11:05 AM

COLOMBO (News 1st) -

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ගොනු කළ රිට් පෙත්සම අභියාචනාධිකරණය අද ප්‍රතික්ෂේප කළේ ය.

පෙත්සම විභාගයට නොගෙනම මෙලෙස ඉවත දමනු ලැබුවේ, අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් මහතා ඇතුළු විනිසුරු මඬුල්ල විසින් ය.

පෙත්සම ප්‍රතික්ෂේප කළ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගය අනුව දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ ය.

වැඩිදුරටත් සඳහන් කෙරුණේ ඔහුට සැඟව සිටීමට සහය වූ පිරිස් පිළිබඳවද නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

පසුගිය මාර්තු 12 වැනිදා පෙත්සම  කැඳවූ අවස්ථාවේ පෙත්සම්කාර දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත පෙනී සිටි ජනාධිපති නීතිඥ ආචාර්ය රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වුවේ ය.

ඔහු සඳහන් කළේ  2023 වසරේ වැලිගම ප්‍රදේශයේ හෝටලයක් තුළ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තම සේවාදායකයා අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ‍දී ඇති අ‍තර එම නියෝගය නීතියට පටහැනි බවයි.

එම සිද්ධියෙන් පසුව පොලිස් නිලධාරියකු මරණයට පත්වී ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි කිහිපයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා  මෙම නියෝගය නිකුත් කර ඇති බවත් රොමේෂ් ද සිල්වා මහතා  කියා සිටියේ ය.

ඔහු පැවසුවේ, අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව මෙවැනි නියෝගයක් නිකුත් කිරීමට මහේස්ත්‍රාත්වරයාට බලයක් නොමැති බැවින් එය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටින බවයි.

එබැවින් අත්අඩංගුවට ගැනීමේ නියෝගය අත්හිටුවන කෙටි අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසද ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

2023 වසරේ දෙසැම්බර් මස 31 වනදා මාතර වැලිගම ප්‍රදේශයේ පිහිටි ඩබ්ලිව්-ෆිෆ්ටීන් හෝටලය ඉදිරිපිට වෙඩි තැබීමක් සිදු වූ අතර එම සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත පොලිස් නිලධාරියකු මිය ගොස් තිබුණි.

පෙත්සම්කරු කියා සිටියේ, වැලිගම පොලිසිය විසින් අදාළ සිද්ධිය සම්බන්ධව විමර්ශන සිදු කළ අතර, මේ වනවිට එහි විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරාගෙන තිබෙන බවයි.

එය මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර යන මහත්වරුන්ගේ බලපෑම් සහිතව සිදුවන බවද පෙත්සම්කරු අවධාරණය කර තිබුණි.

මේ වනවිට අදාළ පරීක්ෂණය දේශපාලන බලපෑම් සහිතව පක්ෂපාතීව මෙන්ම ද්වේශ සහගත ආකාරයෙන් තමා ඉලක්ක කරගනිමින් සිදු කෙරෙන බවද පෙත්සමේ සඳහන් ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමාගෙන් ප්‍රකාශයක්වත් සටහන් කර ගැනීමට පෙර අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග නිකුත් කිරීම නීතියට පටහැනි වන අතර ඉන් අනතුරුව තම විදේශ ගමන් තහනම් කරමින් ඉකුත් පළමුවැනිදා නියෝගයක් නිකුත් ඇතැයි ජනමාධ්‍ය ඔස්සේ දැන ගත් බවත් දේශබන්දු තෙන්නකෝන් මහතා පෙත්සමේ සඳහන් කර තිබේ.

මෙවැනි පසුබිමක තමා අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කර ඇති නියෝගය නීති විරෝධි බැවින් එම නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත්  පෙත්සම විභාග කර අවසාන තීන්දුවක් නිකුත් කරන තුරු එම නියෝගය ක්‍රියාත්මක වීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමේ වැඩිදුරටත් සඳහන් ය.

සිද්ධිය සම්බන්ධ විමර්ශන නවතාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු ඉල්ලා තිබේ.

එහි වගඋත්තරකරුවන් ලෙස සඳහන් කර  ඇත්තේ මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල,  එම අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ එහි වත්මන් අධ්‍යක්ෂ පී. අම්පාවිල යන මහත්වරුන්  ඇතුළු පිරිසකි.