චීනයේ නිල සංචාරයක් සඳහා අමෙරිකානු ජනපතිට ඇරයුම්..

චීනයේ නිල සංචාරයක් සඳහා අමෙරිකානු ජනපතිට ඇරයුම්..

by Staff writer 25-11-2025 | 6:41 AM

COLOMBO (News 1st) - ලබන වසරේ අප්‍රේල් මාසයේදී නිල සංචාරයක් සදහා චීනයට පැමිණෙන්නැයි, චීන ජනාධිපතිවරයා කළ ආරාධනාවක් තමන් පිළිගත් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඊයේ (24) චීන ජනාධිපති ෂී ජින්ග් පින්ග් සමඟ පැවති දුරකථන සාකච්ඡාවකින් අනතුරුව අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

අමෙරිකාවේ සංචාරයක නිරත වන ලෙසද, තමන් එහිදී චීන ජනාධිපතිවරයාට ආරාධනා කළ බව ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කරන ලදි.

රාජ්‍ය නායකයින් දෙදෙනා පැයක පමණ කාලයක්, රුසියානු - යුක්‍රේන යුද්ධය, මත්ද්‍රව්‍ය මෙහෙයුම් සහ දෙරට අතර අඛණ්ඩ සන්නිවේදන සබදතා පවත්වාගැනීමේ ඇති අවශ්‍යතාවය පිළිබඳ සාකච්ඡා කළ බව ධවල මන්දිරය නිවේදනය කළේ ය.

ගෙවුණු ඔක්තෝබර් මාසයේදී අමෙරිකානු සහ චීන රාජ්‍ය නායකයින් දකුණු කොරියාවේ පැවැත්වුණු "ආසියා පැසිෆික් ආර්ථික සහයෝගීතා සමුළුව" අතරතුරදීද විශේෂ සාකච්ඡාවකට එක්වුණි.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ පළමු ධුර කාලය තුළදී ඔවුන් මුණ ගැසී ඇත්තේ එක් වරක් පමණක් වන අතර ඒ අනුව දකුණු කොරියාවේදී ඔවුන් හමුවුනේ වසර 6කට පසුවය.

එවැනි පසුබිමක ලබන වසරේදී රාජ්‍ය නායකයින් යළි මුණගැසීමට සැලසුම් කිරීම, චීනය සහ ඇමෙරිකාව අතර සබදතා යහපත් මට්ටමක ඇතැයි පෙන්නුම් කරන බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනු ලබයි.

කෙසේ නමුත් තායිවානයේ ස්වාධීනත්වය, අමෙරිකාවේ තීරු බදු සහ චීනයේ දුර්ලභ ඛනිජ වලට පනවා ඇති සීමා ඇතුළු ගැටළු කිහිපයක් පිළිබඳව චීනය සහ අමෙරිකාව අතර ඇත්තේ මත්බෙධාත්මක තත්ත්වයක් වේ.