විෂ මත්ද්‍රව්‍ය මැඩලීම අඩපණ කරන්නේ නැහැ - ජනපති

විෂ මත්ද්‍රව්‍ය මැඩලීමේ රජයේ වැඩපිළිවෙළ අඩපණ කරන්නේ නැහැ - ජනපති

by Staff writer 18-03-2026 | 10:18 PM

COLOMBO (News 1st) - රට තුළ විවිධ අවස්ථාවන්හි සමාජ සහ ආර්ථික වශයෙන් විවිධ තත්ත්වයන් මතු වුවත් කිසිඳු අභියෝගයක් හමුවේ විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම වෙනුවෙන්, රජය ගෙන යන වැඩපිළිවෙළ අඩපණ නොවිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම සඳහා වූ ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාව අද (18) රැස්වුයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි.

මත්ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍යවලට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගැනීම්වල සිදුව ඇති ප්‍රමාණාත්මක වර්ධනය සාධනීය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී ප්‍රකාශ කළේ ය.

අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍යතොග විනාශ කිරීම පිළිබඳ පොදු සමාජයට සහ මෙහෙයුම්හි නිරත කණ්ඩායම්වලට විශ්වාසය තහවුරු කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවයක් බවද පෙන්වා දුන් ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නේ ඊට අදාළ නීති සංශෝධන කඩිනම් කරන ලෙසයි.

විෂ මත්ද්‍රව්‍ය සැපයුම් සහ බෙදා හැරීම් ජාල බිඳ දැමීම, පුනරුත්ථාපන සහ අධිකරණ කටයුතු ශක්තිමත් කිරීම ඇතුළු සකස් කර තිබෙන වැඩසටහන් වේගවත්ව සහ අත්නොහැර ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාවද මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

මේ අතර ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ කෙරුණු 2025 ඔක්තෝබර් 30 වන දින සිට මේ දක්වා අත්අඩංගුවට ගැනීම් 124,412ක් සිදු කර තිබෙන බවත්, ඒ අතර ගංජා කිලෝ ග්‍රෑම් 4,520ක්, හෙරොයින් කිලෝ ග්‍රෑම් 1,066 යි ග්‍රෑම් 352ක් සහ නීතිවිරෝධී දුම්වැටි 558,300ක්, අයිස් කිලෝ ග්‍රෑම් 1,930ක් සහ කොකේන් කිලෝ ග්‍රෑම් 270ක් සහ මත් පෙති 983,143ක් අත්අඩංගුවට ගෙන තිබෙන බවත් සාකච්ඡාවේදී අනාවරණය විය.

අධිකරණ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම පිළිබඳවද සාකච්ඡා කෙරුණු අතර මත්ද්‍රව්‍ය වැරදි සඳහා වෙනම අධිකරණයක් සහ අධිකරණ ක්‍රියාදාමයක් ස්ථාපිත කිරීම, පළාත්බද මත්ද්‍රව්‍ය සම්බන්ධ වෙනම අධිකරණයක් ස්ථාපිත කිරීම, මත්ද්‍රව්‍ය වැරදි සඳහා පොලිස් නීති අංශ බලාත්මක කිරීම ආදී යෝජනා ද  අවධානයට ලක්ව තිබේ.