විමල්ගේ හැසිරීම ගැන අධිකරණ දුන් තීන්දුව...

''සාක්ෂි තියෙනවා නම් නඩු දාන්න'' විමල්ගේ හැසිරීම ගැන අධිකරණ දුන් තීන්දුව...

by Staff writer 20-05-2026 | 7:16 PM

COLOMBO (News 1st) - බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසල විමල් වීරවංශ ඇතුලු පිරිසක් කලහාකාරි ලෙස හැසිරුණේ නම් ඒ සම්බන්ධයෙන් සාක්ෂි ඇත්නම් සැකකරුවන් ලෙස නම් කර චෝදනා ගොනු කරන්නැයි,  අධිකරණය අද (20) නියෝග කළේ ය.

ඒ, පෙරේදා ( 18) බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසළ සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් කඩුවෙල ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස හමුවේ කරුණු වාර්තා කළ අවස්ථාවේදීයි.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන්ගේ නම් ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් නොවන බැවින් සැකකරුවන් ලෙස නම් කිරීමට ප්‍රමාණවත් සාක්ෂි තිබිය යුතු බව, මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ ය.

විමල් වීරවංශ වෙනුවෙන් නීතිඥ කමල් විජේසේකර පෙනී සිටි අතර නීතිඥවරයා සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් ස්වේච්ඡාවෙන් අධිකරණයට ඉදිරිපත් වීමට සිය සේවාදායකයා සූදානම් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.