අඟුණකොළපැලැස්ස රැඳවියන් අධිකරණයට යෑම නවතී.

රෝගී තත්ත්වයක් පැතිර යාම පාලනය‍ට අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් නඩු කටයුතු සඳහා අධිකරණයට ගෙන යාම තාවකාලිකව අත්හිටුවයි... - බන්ධනාගාර දෙපාර්තමේන්තුව

by Staff writer 25-05-2026 | 7:49 AM

COLOMBO(News1st) - අඟුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් නඩු කටයුතු සදහා අධිකරණවෙත රැගෙන යාම තාවකාලිකව අත්හිටුවා ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක ඒ.සී ගජනායක පැවසුවේ, රැඳවියන් කිහිප දෙනෙකු රෝගී වීම හා එම රෝගී තත්ත්වය පැතිර යාම පාලනය කිරීමේ අරමුණින් එම පියවර ගෙන ඇති බවයි.

දැනට අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන්ට අදාළ නඩු කටයුතු, ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ සිදුකෙරෙන බවද ඔහු සඳහන් කළේය.

මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, වෙනත් බන්ධනාගාරවලින්ද අඟුණකොලපැලැස්සට රැඳවියන් රැගෙන ඒම නවතා ඇති බවයි.

මේ අතර හම්බන්තොට රෝහලට ඇතුලත් කල රැඳවියන්ගෙන් 7 දෙනෙකුට මෙනින්ජයිටිස් වැළදී නොමැති බව, තහවුරු වී ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

ඔහු පැවසුවේ, එම රැඳවියන් උණ රෝගයට ප්‍රතිකාර ලබා යළි අඟුණකොලපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙනවිත් ඇති බවයි.

කෙසේ වෙතත් රැඳවියන් දෙදෙනෙකු තවදුරටත් හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබන බව ඔහු පැවසුවේය.

පසුගියදා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මියගොස් ඇති අතර ඔහු මියයයාමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

මේ අතර ප්‍රදේශ කිහිපයකින් වාර්තාවූ මෙනින්ජයිටිස් බවට සැකකෙරෙන රෝගයේ ව්‍යාප්තිය පාලනය සඳහා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවට දැනුම් දෙයි.

සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි පැවසුවේ රොගීන් වාර්තාවීම සම්බන්ධව සෞඛ්‍ය අංශ අවධියෙන් පසුවන බවයි.