ජනපති අනුරගෙන් අගමැති මෝදිට ලිපියක්...

ඉන්දියාවේ වැඩිම කාලයක් අගමැතිව සිටින මෝදිට ජනපති අනුරගෙන් ලිපියක්!

by Staff writer 10-06-2026 | 10:03 PM

COLOMBO (News 1st) - අභියෝගාත්මක කාලවලදී ඉන්දියාව ශ්‍රී ලංකාව වෙත දැක්වූ නොසැලෙන මිත්‍රත්වය, අගමැති නරේන්ද්‍ර මෝදිගේ පෞද්ගලික මැදිහත්වීම සහ සහයෝගය වෙනුවෙන් ස්තූතිය පළකරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දීය අගමැතිවරයාට ලිපියක් යවා තිබේ.

ජනාධිපතිවරයා මෙම ලිපිය යවා ඇත්තේ ඉන්දීය ජනරජ ඉතිහාසය තුළ ඡන්දයකින් තේරී පත්ව වැඩිම කාලයක් සේවය කළ අග්‍රාමාත්‍යවරයා බවට පත්වීම පිළිබඳව නරේන්ද්‍ර මෝදි අගමැතිවරයාට සුබ පතමිනි.

ඉන්දියාව සුවිසල් සමෘද්ධිමත්භාවයක් සහ ජයග්‍රහණයක් කරා අනලස්ව පියමනිමින් සිටින ඓතිහාසික අවස්ථාවේ දෙරට අතර ඇති සබඳතාවන්හි පෙර නොවූ විරූ රිද්මය මත පදනම්ව ඉදිරියටම යාමට අපේක්ෂාවෙන් සිටින බව, ජනධිපතිවරයා ඉන්දීය අගමැතිවරයාට යැවූ ලිපියේ සඳහන්.

ජනාධිපතිවරයාගේ ලිපියේ උපුටා ගැනීම..


"මෙම පරිවර්තනීය කාල පරිච්ඡේදය තුළ ඉන්දියාව සමග සමීපව කටයුතු කිරීමට ලැබීම ශ්‍රී ලංකාව ලැබූ වරප්‍රසාදයක් ලෙස සලකමි. ඔබගේ ධුර කාල ත්‍රිත්වය මුළුල්ලේ, අන්‍යෝන්‍ය විශ්වාසය, භූගෝලීය සමීපත්වය, ගැඹුරු ශිෂ්ටාචාරමය සබඳතා සහ ජනතාවගේ සමෘද්ධිය උදෙසා වූ අපගේ පොදු කැපවීම මත පදනම්ව අප දෙරට අතර හවුල්කාරිත්වය නව තලයකට ළඟා වී තිබේ.අභියෝගාත්මක කාලවලදී ඉන්දියාව ශ්‍රී ලංකාව වෙත දැක් වූ නොසැලෙන මිත්‍රත්වය මෙන්ම ඔබගේ පෞද්ගලික මැදිහත්වීම සහ සහයෝගය වෙනුවෙන් අපි වෙසෙසින් කෘතඥ වෙමු.ඉන්දියාව සුවිසල් සමෘද්ධිමත්භාවයක් සහ ජයග්‍රහණයක් කරා අනලස්ව පියමනිමින් සිටින මෙම ඓතිහාසික අවස්ථාවේදී, අප දෙරට අතර ඇති සබඳතාවන්හි පෙර නොවූ විරූ රිද්මය මත පදනම්ව ඉදිරියටම යාමට මම අපේක්ෂාවෙන් සිටිමි"