ශිරාන් බාසික්ගේ පියා රිමාන්ඩ්..

ශිරාන් බාසික්ගේ පියා රිමාන්ඩ්..

by Staff writer 12-09-2026 | 9:49 PM

COLOMBO(News1st) - රැඳවුම් භාරයේ සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික්ගේ පියා වන අබ්දුල් රසාක් මොහොමඩ් බාසික් ලබන 25 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ , අලුත්කඩේ අංක 2 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නීති විරෝධී වත්කම් විමර්ශන අංශය විසින් රැඳවුම් භාරයේ සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික්ගේ පියා වන අබ්දුල් රසාක් මොහොමඩ් බාසික් අත්අඩංගුවට ගත්තේ ය.

ඒ  ශිරාන් බාසික් නැමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බව කියන රුපියල් කෝටි 03ක මුදලක් වැය කරමින් ගම්පහ ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවසක් තමන්ගේ නමින් මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයකට අදාළවයි.

එම සිද්ධිය සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණ පනත යටතේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරු අද කොළඹ අලුත්කඩේ අංක 2 දරණ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරු එළැඹෙන 25 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාසික් නැමැත්තාද මේ වන විට දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය පියවර ගෙන තිබේ.

ඉකුත් මාර්තු මාසයේදී ඩුබායිහීදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරු එහි සිට පිටුවහල් කරන ලද ශිරාන් බාසික් පසුගිය අගෝස්තු 14වනදා මෙරටට රැගෙන ආවේ ය.

ඒ අනුව කටුනායක ගුවන්තොටුපළේදී ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන්තොටුපළ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තේ ය.