.webp)
-622425-623901.jpg)
එම විනිසුරු මඩුල්ලට ඇතුළත් වන්නේ, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය, චමත් මොරායස් සහ ආදිත්‍ය පටබැඳිගේ යි.
කොටුව මහේස්ත්‍රාත්වරයා ඉදිරිපත් කර තිබූ එම පැමිණිල්ල අද (15) අභියාචනාධිකරණයේදී කැඳවනු ලැබීය.
සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය එහිදී සඳහන් කළේ පැමිණිල්ල සලකා බැලීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කරන බවයි.
පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලූ කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන, තීරණය කළේ, හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර, අසංක නවරත්න, කථිකාචාර්ය මහින්ද පතිරණ යන පිරිස අධිකරණයට අපහාසයක් කර ඇති බවයි.
ඔවුන් සම්බන්ධයෙන් 2024 වසරේ අංක 08 දරණ අධිකරණයට හෝ විනිශ්චය ආසනයකට අපහාස කිරීම සම්බන්ධ පනත යටතේ සුදුසු නීතිමය පියවර ගැනීම සඳහා අභියාචනාධිකරණය වෙත යොමු කර තිබේ.
පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඉකුත් ජූලි මාසයේ පැවති සත්‍යග්‍රහය අතරතුර පළ කළ අදහස් වලින් මොවුන් අධිකරණයට අපහාස කර ඇතැයි චෝදනා කරමිනි.
