.webp)

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ GovTech Sri Lanka (Pvt) Ltd. විසින් 'Disrupt Asia ‑ 2026' යනුවෙන් ජාතික තාක්ෂණ සමුළුවක් සහ නවෝත්පාදන උළෙලක් පැවැත්වීමට සැලසුම් කරනු ලැබ ඇත. ව්‍යාපාර ආරම්භක තරගාවලියක්, විවිධ තේමා යටතේ ප්‍රධාන සැසි, ප්‍රදර්ශනයක්, ජාලගතවීමේ උත්සවයක් සහ වෙනත් අනුබද්ධ වැඩසටහන් ඇතුළත් දෙදින වැඩසටහනක් වශයෙන් එම සමුළුව සහ උළෙල පැවැත්වීමට අපේක්ෂා කරනු ලබයි. ඒ සඳහා අමාත්‍යාංශ, රජයේ ආයතන, පෞද්ගලික අංශය, කර්මාන්ත ක්ෂේත්රයේ පාර්ශ්වකරුවන්, ශාස්ත්‍රීය ක්ෂේත්රය, සංවර්ධන හවුල්කරුවන් සහ ජාත්‍යන්තර සංවිධාන ඇතුළු ප්‍රධාන පාර්ශ්වකරුවන් රැසක් සහභාගි වීමට නියමිතය. 'Disrupt Asia - 2026' සමුළුව සහ උළෙල පැවැත්වීම සඳහා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපායමාර්ගික හවුල්කරුවෙකු වශයෙන් කටයුතු කිරීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකා කාර්යාලය විසින් සිය කැමැත්ත සහ සූදානම ප්‍රකාශ කර ඇත. ඒ අනුව, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකා කාර්යාලය උපායමාර්ගික හවුල්කරුවෙකු ලෙස සම්බන්ධ කර ගනිමින් 'Disrupt Asia ‑ 2026' ජාතික තාක්ෂණ සමුළුව සහ නවෝත්පාදන උළෙල පැවැත්වීම පිණිස ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
දරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂාව, අධ්‍යාපනය, සෞඛ්‍යය සහ යහපැවැත්ම පිළිබඳ සමාජ අවධානය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාව තුළ සෑම වසරකම ඔක්තෝබර් මස 01 දින ළමා දිනය සැමරීම සිදු කරනු ලබයි. වර්තමානයේ දරුවන් මුහුණ දෙන අභියෝග සාම්ප්‍රදායික ළමා ආරක්ෂණ ගැටලු ඉක්මවා යමින් අන්තර්ජාලය හා ඩිජිටල් තාක්ෂණය ආශ්රිත අවදානම්, මානසික හා සමාජයීය පීඩන, නොසලකා හැරීම සහ විවිධ සමාජ හා ආර්ථික අවදානම් තත්ත්වයන් දක්වා පුළුල් වී ඇති බව නිරීක්ෂණය කර තිබේ. එමෙන්ම, දරුවන්ගේ පමණක් නොව දෙමාපියන්, ගුරුවරුන්, රාජ්‍ය නිලධාරින්, සේවා සපයන්නන්, පොදු මහජනතාව ඇතුළු දරුවන් සමඟ නිරන්තරයෙන් සම්බන්ධ වන සියලු පාර්ශ්වයන්ගේ, ළමා අයිතිවාසිකම් හා ආරක්ෂාව සම්බන්ධයෙන් වන දැනුම්වත්භාවය වර්ධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. එබැවින්, ළමා අයිතිවාසිකම් පිළිබඳ මහජන දැනුම්වත්භාවය ඉහළ නැංවීම, දරුවන් පිළිබඳ සමාජ සංවේදීතාව වර්ධනය කිරීම සහ ළමා ආරක්ෂාව සඳහා ප්‍රජා සහභාගිත්වය වැඩි දියුණු කිරීම අරමුණු කර ගනිමින් ළමා දින ජාතික සැමරුම් වැඩසටහනට සමගාමීව ළමා දින ජාතික සතියක් ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කරනු ලැබ තිබේ. ඒ අනුව, 2026-09-25 දින සිට 2026-10-01 දින දක්වා වන කාලය 'ළමා දින ජාතික සතිය - 2026' ලෙස ප්‍රකාශයට පත් කරමින් විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිණිස කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංගමයේ (SAARC) බලශක්ති මධ්‍යස්ථානය විසින් 2026‑10‑05 දින සිට 2026-10-07 දින දක්වා කාලය තුළ 'පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා මූල්‍ය ආකෘතිකරණය' යන තේමාව යටතේ පුහුණු වැඩමුළුවක් කොළඹදී පැවැත්වීමට සැලසුම් කර ඇත. එම වැඩමුළුව සඳහා ශ්‍රී ලංකාව ඇතුළු SAARC සාමාජික රටවල්වලින් දෙදෙනෙකු බැගින් සහභාගි වීමට නියමිතය. දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංගමයේ බලශක්ති මධ්‍යස්ථානය විසින් ගුවන් ගාස්තු හැර අනෙකුත් සියලුම දේශීය ආගන්තුක සත්කාර පහසුකම් සහ ගුවන්තොටුපොළ ප්‍රවාහන පහසුකම් සපයා දීමට නියමිත වේ. පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රයේ ව්‍යාපෘති ඇගයීම සහ මූල්‍ය ආකෘතිකරණය සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරින්ගේ හා අනෙකුත් අදාළ පාර්ශ්වයන්ගේ ධාරිතා සංවර්ධනය සඳහා වැදගත් වන මෙම පුහුණු වැඩමුළුව සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනා සැලකිල්ලට ගන්නා ලදුව, එකී වැඩසටහන පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව විසින් සත්කාරකත්වය දක්වීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ එකඟතාවය ලබා දීමට තීරණය කරන ලදී.
පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ 8 වන ආසියානු කලාපීය සමුළුව සහ පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ ආසියානු හා පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ අග්නිදිග ආසියානු කලාපීය 3 වන ඒකාබද්ධ සමුළුව 2027 වර්ෂයේ අප්‍රේල්/මැයි මාසවලදී දින තුනක් පුරා කොළඹදී පැවැත්වීමට සලසුම් කරනු ලැබ ඇත. එම සමුළු සඳහා ආසියානු සහ අග්නිදිග ආසියානු කලාප තුළ පිහිටි පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ සාමාජික රටවල් නියෝජනය කරන කථානායකවරුන්, නියෝජ්‍ය කථානායකවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු නිලධාරින් ඇතුළු නියෝජිතයින් 90දෙනෙකු පමණ සහභාගි වීමට නියමිතය. පාර්ලිමේන්තු රාජ්‍යතාන්ත්‍රිකභාවය සහ කලාපීය සහයෝගිතාව ශක්තිමත් කරගැනීම සහ පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය තුළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ජාත්‍යන්තර පිළිගැනීම වැඩිදියුණු කරගැනීමට ඇති අවස්ථාවන් සැලකිල්ලට ගනිමින් එකී සමුළු ශ්‍රී ලංකාවේදී පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් සත්කාරකත්වය දැක්වීම පිණිස ගරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2026 වර්ෂයේ යල කන්නයේ වී මිල දී ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ වෙන් කරන ලද ප්‍රතිපාදනවලින් රුපියල් මිලියන 6,000ක් වී අලෙවි මණ්ඩලය වෙත ලබා දී ඇති අතර, එම මුදල යොදා ගනිමින් වී අලෙවි මණ්ඩලය විසින් වී මිල දී ගැනීමේ කටයුතු මේ වන විට සිදු කරමින් පවතී. එහෙත්, අනුරාධපුර, පොළොන්නරුව, පුත්තලම, මන්නාරම හා මුලතිව් යන දිස්ත්‍රික්කවල සහ මහවැලි B, C හා H කලාපවල වී අස්වනු තවමත් නෙළා අවසන්ව නොමැති බැවින්, එම ප්‍රදේශයන්හි වී මිල දී ගැනීම සඳහා දැනට වෙන් කරනු ලැබ ඇති ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බව නිරීක්ෂණය කර ඇත. එබැවින්, 2026 යල කන්නයේ වී අස්වනු මිල දී ගැනීමේ කඩිනම් වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය වෙත ලබා දී ඇති රුපියල් මිලියන 7,500ක අමතර ප්‍රතිපාදනවලින් තවත් රුපියල් මිලියන 2,500ක අරමුදල්, ප්‍රතිපූරණය කිරීමේ පදනම මත වී අලෙවි මණ්ඩලය වෙත ලබා දීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
වර්තමාන ඉඩම් පරිහරණ රටාවන් අනුව බලපෑමට ලක්ව ඇති ජල මූලාශ්‍ර සංරක්ෂණය කර ගැනීමේ එක් පියවරක් ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන වැව්වල සීමාවන් එම දෙපාර්තමේන්තුවේ මායිම් කණු යොදා නිශ්චිත ලෙස භූමියේ සලකුණු කිරීම සඳහා 'ක්ලීන් ශ්‍රී ලංකා' ව්‍යාපෘතිය යටතේ 2025 වර්ෂයට අදාළව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය වෙත වෙන් කර ඇති රුපියල් මිලියන 100ක ප්‍රතිපාදන යොදා ගනිමින් වාර්මාර්ග දෙපාර්තමේන්තුව මඟින් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස 2025-06-16 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, විවිධ බලපෑම්වලට ලක් වෙමින් පවතින තෝරාගත් වැව් 21ක කාර්යයන් 2025 වර්ෂයේදී ආරම්භ කර ඇති අතර නුවර වැව, කන්තලේ වැව හා තිස්ස වැව යන වැව් 03ට අදාළ සීමාවන් සලකුණු කර මායිම් කණු යෙදීමේ කටයුතු එම වර්ෂයේදීම අවසන් කර ඇත. මීට අමතරව ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමි වූ අදාළ ව්‍යාපෘති යෝජනාවේ ඇතුළත් වැව් 48න් වැඩ ආරම්භ නොකරන ලද ඉතිරි කාර්යයන් ඉදිරි වර්ෂවලදී අවසන් කිරීමට නියමිතව තිබේ. ඒ අනුව, ඉතිරි වැව්වල මැනුම් කටයුතු සිදු කිරීම, මායිම් ගල් සැකසීම හා සවි කිරීම සහ රුක් රෝපණය ඇතුළුව 2025‑2028 කාලසීමාව වෙනුවෙන් සමස්ත ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් මිලියන 400ක් ලෙස ගණනය කරනු ලැබ ඇත. ඒ අනුව, එම ව්‍යාපෘතිය තවදුරටත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව හරහා ක්‍රියාත්මක කරවීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
මුදුන් ඇළ උප ජලපෝෂක කලාපයට අයත් පෑලියගොඩ සහ කැලණිය ප්‍රදේශවල සංවර්ධනය සඳහා දැඩි බලපෑමක් සිදු කරන වැසි ජලාපවහන ගැටලුව අවම කිරීමේ අරමුණින් 'මුදුන් ඇළ වැසි ජලාපවහන හා පරිසරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය' ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් යෝජනා කර ඇත. 2023 වර්ෂයේදී ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) විසින් සිදු කරනු ලැබ ඇති මුදුන් ඇළ ද්‍රෝණි කලාපයේ පූර්ව ශක්‍යතා අධ්‍යයනය සහ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් 2024 වර්ෂයේදී සිදු කරනු ලැබ ඇති මුදුන් ඇළ ද්‍රෝණි කලාපයේ ශක්‍යතා අධ්‍යයනය මත පදනම්ව යෝජිත ව්‍යාපෘතිය සැලසුම් කරනු ලැබ ඇත. එකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම මඟින් මුදුන් ඇළ උප ජලපෝෂක ප්‍රදේශයේ පවතින වැසි ජලාපවහන ගැටලු සඳහා විසඳුම් ලබා දීමටත්, එමඟින් දැනට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති/ආර්ථික ක්‍රියාකාරකම් කෙරෙහි ජල ගැලීම්වලින් වන බලපෑම හා හානිය අවම කිරීමටත්, ඉදිරි සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය වන ඉඩම් නිදහස් කර ගැනීමටත් අපේක්ෂා කරනු ලබයි. රුපියල් මිලියන 46,190.6ක ඇස්තමේන්තුගත මුළු පිරිවැයක් යටතේ 'මුදුන් ඇළ වැසි ජලාපවහන හා පරිසරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය' 2027-2036 කාලසීමාව තුළදී අදියරගතව ක්‍රියාත්මක කිරීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
කුඹුරු ඉඩම් ගොඩ කරමින් පිළියන්දල - කැස්බෑව අතුරු මාර්ගය (මාර්ග අංක 120) ඉදි කිරීම, පිළියන්දල නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පිළියන්දල බස් නැවතුම්පොළ ඉදි කිරීම ආදී පසුගිය දශකය තුළ පිළියන්දල ප්‍රදේශයේ මධ්‍යගතව සිදු කරනු ලැබ ඇති නාගරීකරණ ක්‍රියාකාරකම් හේතුවෙන් එම ප්‍රදේශයේ ස්වභාවික ජලාපවහන රටාවට අහිතකර බලපෑමක් එල්ල වී ඇත. එලෙස පහත් බිම් ගොඩ කිරීම හේතුවෙන් භූමියේ ස්වභාවික ජල රඳවා ගැනීමේ ධාරිතාව සැලකිය යුතු ලෙස අඩු වී මතුපිට ජලය ගලා යාම ඉහළ යාම සහ සුළු වර්ෂාපතනයකින් පවා ගංවතුර අවදානම් තත්ත්වයන් ඇති වීම සිදු වේ. එබැවින්, පවතින කාණු පද්ධතිය සංවර්ධනය කිරීම සහ ඇළ ඉවුරු සැකසීම, පවතින බෝක්කු ප්‍රතිසංස්කරණය සහ අලුතින් ඉදි කිරීම, ජල රැඳවුම් කලාප ඉදි කිරීම සහ ප්‍රදේශයේ පවතින පාරිසරික සංවේදි කලාප තෙත්බිම් ප්‍රදේශ ලෙස හඳුන්වා දීම සඳහා පිළියන්දල‑කැස්බෑව අතුරු මාර්ගය ආශ්රිත පහත් බිම් ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත වැසි ජලාපවහන පද්ධතිය සහ පරිසරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී
දික්වැල්ල නගරයට ආසන්නව පිහිටි අර්ධ නාගරික ප්‍රදේශයක් වන වැවුරුකන්නල ප්‍රදේශය නිරන්තරයෙන් ජලගැලීම්වලට භාජනය වේ. බෙරුවල නම් වගුරු බිම ගොඩ කිරීම හා සැන්ඩිස් ඇළ නැමති ප්‍රධාන ඇළ දෙපස අවිධිමත් නාගරීකරණය නිසා ඇළ මාර්ග පටු වීම හේතුවෙන් නිසි පරිදි ජලාපවහනයක් සිදු නොවීම එකී ගැටලුවට ප්‍රධාන හේතුව වී තිබේ. එම තත්ත්වය මත ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් අදාළ ප්‍රදේශයේ ජල විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කර ජලාපවහන පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කරනු ලැබ ඇති අතර, අදාළ ආයතන වෙතින් එම සැලසුම්වලට අදාළව නිසි නිර්දේශ සහ අනුමැතීන් ලබාගෙන ඇත. ඒ අනුව, දික්වැල්ල බෙරුවල වැසි ජලාපවහන පද්ධති හා පොදු පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය රුපියල් මිලියන 2,946ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ 2027-2030 කාලසීමාව තුළදී ක්‍රියාත්මක කිරීමටත්, ඒ යටතේ පහත කාර්යයන් සිදු කිරීමටත් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:
බෙරුවල පහත්බිම් අක්කර 14ක පමණ ප්‍රදේශයක් ජල රැඳවුම් ප්‍රදේශයක් (වැවක්) ලෙස ප්‍රතිෂ්ඨාපනය කිරීම.
එම වැවේ කිලෝමීටර 1.8ක් පමණ දිගින් යුත් වැව් බැම්ම පෙරහැර මාවත ලෙස හා පොදු ජනතාවට ඇවිදින මං තීරුවක් ලෙස සැකසීම.
මෙම ප්‍රදේශයේ එක් රැස් වන වර්ෂා ජලය වගුරු බිමේ සිට කලපුව දක්වා ගෙන යන සැන්ඩිස් ඇළ පුළුල් කර නඩත්තු මාර්ගයක් ද සහිතව කලපුව දක්වා සංවර්ධනය කිරීම.
අතුරු ඇළ මාර්ගයක් ලෙස යෝජිත වැවේ සිට බෙලිඅත්ත විකල්ප මාර්ගය ඔස්සේ කලපුව දක්වා නව ඇළ මාර්ගයක් සැකසීම හා අනෙකුත් ද්විතීයික ඇළ මාර්ග සැකසීම.
ඇළ හරහා පවතින මාර්ග සඳහා ඇති බෝක්කු හා වැව ආශ්රිත බෝක්කු වැඩි දියුණු කිරීම.
යෝජිත ජලාශය අවට ප්‍රදේශයේ අවශ්‍යතාවන්ට අනුකූල වන පරිදි පොදු පහසුකම් සංවර්ධනය කිරීම.
2025 නොවැම්බර් මස අග භාගයේදී ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් බ්ලැක්පූල් - අඹේවෙල - පට්ටිපොළ - හෝර්ටන් තැන්න (B 512) (කිලෝමීටර 5+200 සිට කිලෝමීටර 12+000 දක්වා) මාර්ගය වැඩිදියුණු කිරීම සඳහා ජාතික තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා තිබේ. ඒ සඳහා ලංසු 04ක් ලැබී ඇත. එකී ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව විසින් ලබා දී ඇති නිර්දේශ මත පදනම්ව සාරානුකූලව ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන M/s Asset Engineering (Pvt) Ltd., වෙත රුපියල් මිලියන 791.68ක (බදු රහිත) මුදලකට අදාළ කොන්ත්‍රාත්තුව ප්රදානය කිරීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ගුවන් සේවා මගී පද්ධති, පිටත්වීම් පාලන පද්ධති, ගුවන් ගමන් ප්‍රවේශපත්‍ර වෙන් කිරීමේ හා ආසන වෙන් කිරීමේ පද්ධති, භාණ්ඩ කළමනාකරණ පද්ධති සහ ගුවන්තොටුපොළ මෙහෙයුම් පද්ධති ඇතුළු ගුවන් ගමන් සේවාවල ඉතා වැදගත් පද්ධති අතර සම්බන්ධතාව සඳහා සුරක්ෂිත, ඔරොත්තු දීමේ හැකියාව සහිත සහ ඉහළ කාර්යක්ෂමතාවකින් යුත් ගෝලීය ජාල යටිතල පහසුකම් වේදිකාවක් අවශ්‍ය වේ. ඒ අනුව, සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම සඳහා අදාළ සේවාවන් සැපයීම පිණිස වන කොන්ත්‍රාත්තුවේ කාලය අවසන් වීම මත නව සේවා සැපයුම්කරුවෙකු තෝරා ගැනීම සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා තිබේ. ඒ සඳහා එක් ලංසුවක් පමණක් ඉදිරිපත් කරනු ලැබ ඇත. ඒ අනුව, ඒ සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ලබා දී ඇති නිර්දේශය මත පදනම්ව, සාරානුකූලව ප්‍රතිචාර දක්වා ඇති එකම ලංසුකරු වන SITA Switzerland SARL වෙත 2026-10-01 දින සිට 2031-09-30 දින දක්වා වසර 05ක කාලසීමාවක් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 4.01ක මුදලකට සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම වෙත ගෝලීය ජාල යටිතල පහසුකම් සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව ප්රදානය කිරීම පිණිස වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ජනතාවගේ ඉහළ යන සෞඛ්‍ය සේවා අවශ්‍යතා සපුරාලීම සඳහා රෝහල් ඇතුළු රජයේ බොහෝ සෞඛ්‍ය සේවා ආයතනවල පවතින බවට හඳුනාගෙන ඇති යටිතල පහසුකම් හිඟයන් මඟහරවා ගැනීම සහ අතිනවීන යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මඟින් නවීන සෞඛ්‍ය සේවා ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි පහසුකම් වැඩිදියුණු කිරීම ඉලක්ක කරගත් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ. ඒ අනුව, 2025 හා 2026 වර්ෂයන්හිදී ඉදිරිපත් කරනු ලැබ ඇති ව්‍යාපෘති යෝජනා අතරින් ව්‍යාපෘති යෝජනා 41ක් ඇගයීමෙන් අනතුරුව, 2027 වර්ෂයේදී ආරම්භ කර ක්‍රියාත්මක කිරීමට ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කරනු ලැබ ඇත. 2027-2031 කාලපරිච්ඡේදයට අදාළ රාජ්‍ය ආයෝජන වැඩසටහනට එම ව්‍යාපෘති යෝජනා මේ වන විට ඇතුළත් කර තිබේ. එම ව්‍යාපෘති අතරින් ව්‍යාපෘති 39ක් ක්‍රියාත්මක කිරීම සඳහා ඇති සූදානම සැලකිල්ලට ගෙන, 2027 අයවැය තුළින් ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව, එකී නව ව්‍යාපෘති 39 ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ 53වන වගන්තියට අනුව, ව්‍යාපාරයක් ක්‍රමෝපාය වැදගත්කමක් සහිත ව්‍යාපාරයක් ලෙස නම් කිරීම සඳහා සහ එවැනි ව්‍යාපාර සඳහා නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් ප්රදානය කිරීම පිණිස විධිවිධාන සලසනු ලැබ ඇති අතර, ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අවශ්‍ය වේ. ඒ අනුව, ක්‍රමෝපාය වැදගත්කමක් සහිත ප්‍රාථමික ව්‍යාපාරයක් ලෙස නම් කිරීමට යෝජිත ප්‍රයිම් මෙල්වා (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් ඉදිරි වසර කිහිපයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 112.2ක සහ ශ්‍රී ලංකා රුපියල් බිලියන 15.9ක ආයෝජනයක් සිදු කිරීමටත්, කොළඹ වරාය නගරය තුළ සංධිස්ථානීය මිශ්‍ර භාවිත දිය අද්දර සංවර්ධන ව්‍යාපෘතියක් (Landmark mixed-use waterfront project) ක්‍රියාත්මක කිරීමටත්, ඒ හරහා පුද්ගලයින් 800කට පමණ රැකියා අවස්ථා උත්පාදනය කිරීමටත් සැලසුම් කරනු ලැබ ඇත. ඒ අනුව, ප්‍රයිම් මෙල්වා (ප්‍රයිවට්) ලිමිටඩ් වෙත කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ විධිවිධාන අනුගමනය කරමින් යෝජිත නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් ප්රදානය කිරීමටත්, එම ව්‍යාපාරය ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක් ලෙස නම් කිරීමටත් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2027 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත සකස් කිරීම පිණිස 2026-06-30 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති 2027 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබේ. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
