2031 සිට සා.පෙළ විෂයයන් 7කට සීමා කිරීමට සැලසුම්

2031 සිට ක්‍රියාත්මක වන පරිදි සා.පෙළ සඳහා සමස්ත විෂයයන් සංඛ්‍යාව 7ක් දක්වා සීමා කිරීමට සැලසුම් - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

by Staff writer 15-09-2026 | 10:55 AM

COLOMBO(News1st) - ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරිමට යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ , සාමාන්‍ය පෙළ සඳහා සමස්ත විෂයයන් සංඛ්‍යාව 7ක් දක්වා සීමා කිරීමට සැලසුම් කර තිබේ.

ඒ, ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් ද ඇතුළත්වයි.

අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් රැස් වූ පාර්ලිමේන්තුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකාරක සභාව දී මේ පිළිබඳව සාකච්ඡා කර තිබේ.

ඒ අනුව මෙය 2031 වසරේ සාමාන්‍ය පෙළ විභාගයේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි පාර්ලිමේන්තුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකාරක සභාව සඳහන් කළේ ය.

ඒ අනූව යෝජිත ප්‍රතිසංස්කරණ යටතේ 10 සහ 11 ශ්‍රේණිවල සිට වෘත්තීය අධ්‍යාපනය හඳුන්වා දීමට නියමිතයි.

12 සහ 13 ශ්‍රේණි සඳහා සමාජ සංහිඳියාව, නීතිය හා ආචාර ධර්ම මොඩියුලර් ඇතුළත් කිරීමත් එම ප්‍රතිසංස්කරණවලට ඇතුළත් වේ.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ආරම්භක පියවර ලෙස 2 සහ 6 ශ්‍රේණි සඳහා අවශ්‍ය ක්‍රියාකාරකම් පොත්, ගුරු මාර්ගෝපදේශ සහ මොඩියුල සකස් කර ඇති අතර, ගුරු පුහුණු වැඩසටහන් ද ක්‍රියාත්මක බව මෙහිදී අනාවරණය විය.

මේ අතර අධ්‍යාපනයට සිදුකරන ආයෝජන ඔස්සේ, සමාජ පරිවර්තනයක් සිදුකළ හැකි අනාගත නායකයින් බිහි කරන ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළා ය.

අග්‍රාමාත්‍යවරිය මේ අදහස් පළ කළේ, මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ  පැවති උත්සවයකට එක්වෙමිනි.