2026-09-22 දිනට අදාළ කැබිනට් තීරණ

2026-09-22 දිනට අදාළ කැබිනට් තීරණ

by Staff writer 22-09-2026 | 2:44 PM

COLOMBO(News1st) - වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල සඳහා නව කළමනාකරණ රාමුවක් ස්ථාපිත කිරීම

2017-06-27 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබ ඇති තීරණයක් පරිදි වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහලේ පරිපාලන කටයුතු සෞඛ්‍ය විෂය භාර අමාත්‍යාංශය වෙත 2017-08-01 දින සිට ක්‍රියාත්මක වන පරිදි පවරනු ලැබ ඇත. ඉන් පසු එම රෝහලේ කළමනාකරණ කටයුතු දෙමුහුන් (hybrid) මෙහෙයුම් ආකෘතියක් අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදාව යටතේ පවත්වා ගෙන යාමටත්, එකී රෝහල සමාගම් පනත යටතේ සංස්ථාගත කෙරෙන රාජ්‍ය ව්‍යවසායක් යටතේ ක්‍රියාත්මක කිරීමටත් 2026-02-09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඒකාබද්ධව මේ වන විට වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල කළමනාකරණය සඳහා පාලන සහ මූල්‍ය රාමුවක් යෝජනා කරනු ලැබ තිබේ. යෝජිත කළමනාකරණ රාමුව යටතේ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල විසින් මහජනතාව සඳහා නේවාසික හා බාහිර රෝගී ප්‍රතිකාර සේවාවන් නොමිලේ මෙන්ම ගාස්තු අය කිරීමේ පදනම මත ද සපයනු ලබයි. 

ඒ අනුව, යෝජිත කළමනාකරණ රාමුව පහත සඳහන් පරිදි ක්‍රියාත්මක කිරීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා; සහ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

රෝහලේ අයිතිය සහ වත්කම් මහා භාණ්ඩාගාරය වෙත 100%ක කොටස් හිමිකම සහිත සමාගමක් යටතට පැවරීම සහ රෝහල කළමනාකරණය ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදු කිරීම.


ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නිර්දේශය මත භාණ්ඩාගාර ලේකම්වරයා විසින් යෝජිත සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය 11දෙනෙකුගෙන් යුතුව පත් කිරීම.


2026-2028 කාලපරිච්ඡේදය වෙනුවෙන් යෝජිත සමාගමේ කාර්යමණ්ඩල වැටුප් සහ මෙහෙයුම් කටයුතුවලට අදාළ ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරය විසින් සලසා දීම සහ ඉන් අනතුරුව එම රෝහල ස්වයං මූල්‍යයන ආයතනයක් ලෙස පවත්වාගෙන යාම.


රෝහල මඟින් මහජනතාව වෙත නොමිලේ සලසනු ලබන සෞඛ්‍ය සේවාවන් සඳහා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත වෙන් කෙරෙන ප්‍රතිපාදන මඟින් රුපියල් මිලියන 125ක ඇස්තමේන්තුගත වටිනාකමින් යුතු ඖෂධ, වෛද්‍ය සැපයුම් සහ අනෙකුත් පාරිභෝජ්‍ය ද්‍රව්‍ය වාර්ෂිකව රෝහල වෙත සැපයීම.

ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික උපදේශනය පිළිබඳ අවබෝධතා ගිවිසුම

- ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 75 වන සංවත්සරය 2027 වසරට යෙදී ඇත. ඒ අනුව, දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ඉදිරියට ගෙන යාම සහ පුළුල් කිරීම සඳහා ද්විපාර්ශ්වික උපදේශනය පිළිබඳ අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස දෙපාර්ශ්වය විසින් එකඟතාව පළ කරනු ලැබ තිබේ. එම අවබෝධතා ගිවිසුම මඟින් ද්විපාර්ශ්වික සබඳතා ඇගයීම සඳහාත්, ද්විපාර්ශ්වික සහ ජාත්‍යන්තර කරුණු පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීම සඳහාත්, අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන විෂයයන් සම්බන්ධයෙන් තම ස්ථාවරයන් සම්බන්ධීකරණය කර ගැනීම සඳහාත්, නිත්‍ය ද්විපාර්ශ්වික උපදේශන පැවැත්වීම සඳහාත් පහසුකම් සැලසෙනු ඇත. ඒ අනුව, වසර 05ක කාලසීමාවක් සඳහා බලපැවැත්වෙන පරිදි ද්විපාර්ශ්වික උපදේශනය පිළිබඳ අවබෝධතා ගිවිසුම ඉන්දුනීසියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය අතර අත්සන් තැබීම පිණිස වැඩබලන විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

79 වන නිදහස් දින සමරු උ‌ළෙලේ සංවිධාන කටයුතු සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීම

- 2027-02-04 දිනට යෙදෙන මෙරට 79 වන නිදහස් දින සමරු උළෙලෙහි කටයුතු සංවිධානය හා මෙහෙයවීම සඳහා ගරු අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් සහ අදාළ ගරු අමාත්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් යුතුව අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීම පිණිස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ ඉදි කරන ලද කොළඹ 05, කාලිංග මාවත නිවාස සංකීර්ණයේ නැවත පදිංචි කරනු ලැබ ඇති පවුල් සඳහා සුරක්ෂිත, කුසලතා පූර්ණ සහ ශක්තිමත් ප්‍රජාවක් ගොඩනැංවීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම

- කොළඹ 05, කාලිංග මාවත නිවාස සංකීර්ණය නිවාස 528කින් සමන්විත වන අතර, ඉන් නිවාස 384ක අඩු පහසුකම් සහිත නාගරික ජනාවාසවලින් ඉවත් කරන ලද පවුල් පදිංචිව සිටිති. ස්ථිර නිවාස හිමි වූ නමුත්, සාම්ප්‍රදායික ජීවන රටාව වෙනස් වීම හේතුවෙන් එම පදිංචිකරුවන් විවිධ සංකීර්ණ සමාජ‑ආර්ථික අභියෝගවලට මුහුණ දෙමින් සිටින බව නිරීක්ෂණය කර ඇත. එබැවින්, එකී පවුල් සවිබල ගැන්වීම සඳහා බහුආංශික මැදිහත්වීමක් යටතේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස Agromart Outreach Foundation විසින් ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබ තිබේ. ඒ යටතේ අවශ්‍යතා තක්සේරුව, ආර්ථික පරිවර්තනය, පරිපූර්ණ පවුල් සහාය සහ තිරසර ඒකාබද්ධතාව යන මූලික අංශ 04ක් ආවරණය වන පරිදි වසර 03ක් තුළ අදාළ නාගරික අඩු ආදායම් කාන්තාවන් සවිබලගැන්වීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින් අවශ්‍ය ප්‍රතිපත්තිමය මග පෙන්වීම සහ පරිපාලන අනුග්‍රහය ලබා දෙන අතර, Agromart Outreach Foundation විසින් එකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා තාක්ෂණික විශේෂඥ දැනුම සහ අරමුදල් සපයනු ලබයි. අවශ්‍ය පහසුකම් සැලසීමේ සහයෝගිතා අධිකාරිය වශයෙන් නාගරික සංවර්ධන අධිකාරියේ මැදිහත්වීම ලබා ගනු ඇත. ඒ අනුව, යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා වන අවබෝධතා ගිවිසුම කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය සහ Agromart Outreach Foundation අතර අත්සන් තැබීමටත් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා පෙර මුද්‍රිත පොලිකාබනේට් කාඩ්පත් මිලියන 05ක් මිල දී ගැනීමේ ප්‍රසම්පාදනය

- ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා අවශ්‍ය පෙර මුද්‍රිත පොලිකාබනේට් කාඩ්පත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත මිල දී ගැනීම පිණිස ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා 2025-04-07 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා තිබේ. ඒ සඳහා ලංසු 08ක් ඉදිරිපත් කරනු ලැබ ඇත. එකී ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව, සාරානුකූල ප්‍රතිචාරාත්මක ලංසුකරු වන, ජර්මනියේ Muhlbauer ID Services GmbH වෙත පෙර මුද්‍රිත පොලිකාබනේට් කාඩ්පත් මිලියන 05ක් මිල දී ගැනීමේ කොන්ත්‍රාත්තුව යුරෝ මිලියන 4.93ක මුදලකට පිරිනැමීම පිණිස ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

දිට්වා සුළි කුණාටුවෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ පුනරුත්ථාපන හා ප්‍රතිසංස්කරණ වැඩසටහන් සඳහා ඉන්දීය රජය විසින් ලබා දෙන ණය පහසුකම් උපයෝජනය කිරීම

- දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සිදු වූ හානි පුනරුත්ථාපන හා ප්‍රතිසංස්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියානු රජය විසින් 'සාගර් බන්ධු මෙහෙයුම' යටතේ ඉන්දියානු රුපියල් ණය මාලාව හරහා ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක දිගුකාලීන ණය පහසුකමක් සහ ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක කෙටිකාලීන ණය පහසුකමක් ලබා දී ඇත. එම කෙටිකාලීන ණය පහසුකම යටතේ පශු සම්පත් අංශයේ සංවර්ධනයට සහාය වීම සඳහා ඉන්දියාවෙන් අභිජනන සතුන් ආනයනය කිරීම පිණිස ඇමෙරිකානු ඩොලර් මිලියන 05ක මුදලක් වෙන් කිරීමට යෝජනා කරනු ලැබ තිබේ. එම කෙටිකාලීන ණය පහසුකමේ ඉතිරි ඇමෙරිකානු ඩොලර් මිලියන 95ක මුදල භාවිත කරමින් දිට්වා සුළි කුණාටුවෙන් දැඩි ලෙස පීඩාවට පත් ප්‍රදේශවල සේවා සැපයීම සහ සහන සේවා කටයුතු පහසු කිරීමට අවශ්‍ය ගිලන් රථ, මල අපද්‍රව්‍ය ඉවත් කිරීමේ රථ, සිංගල් කැබ් රථ සහ ටිපර් රථ ආදී අත්‍යවශ්‍ය වාහන මිල දී ගැනීමට සැලසුම් කරනු ලැබ ඇත. ඒ අනුව, එම ඉන්දියානු කෙටිකාලීන ණය පහසුකම යටතේ ආරක්ෂක අමාත්‍යාංශය; මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය; සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය යන අමාත්‍යාංශ සහ ඒ යටතේ පවතින ආයතන සඳහා ඉහත සඳහන් අත්‍යවශ්‍ය වාහන මිල දී ගැනීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සඳහා යන්ත්‍රෝපකරණ මිල දී ගැනීම

- ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් නාගරික හා පහත් බිම් ප්‍රදේශවල ගංවතුර අවදානම අවම කිරීම, ජලාපවහන පද්ධති කාර්යක්ෂමව පවත්වා ගෙන යාම, ගංවතුර අවස්ථාවකදී හදිසි මෙහෙයුම් කටයුතු සිදු කිරීම සහ ඇළ මාර්ග නඩත්තු කිරීම ආදී වැදගත් කාර්යයන් ඉටු කරනු ලබයි. එකී කාර්යයන් කාර්යක්ෂමව හා කඩිනමින් ඉටු කිරීම සඳහා එම සංස්ථාවේ අභ්‍යන්තර මෙහෙයුම් ධාරිතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ ඇත. එබැවින්, නගර ආශ්‍රිතව ඇති වන ගංවතුර තත්ත්වයන්ට බොහෝ ලෙස බලපාන කුඩා ප්‍රමාණයේ ඇළ මාර්ග ශුද්ධපවිත්‍ර කිරීමට යොදා ගත හැකි කුඩා ප්‍රමාණයේ යන්ත්‍රෝපකරණ එම සංස්ථාව සඳහා මිල දී ගැනීමට සැලසුම් කරනු ලැබ තිබේ. මහා භාණ්ඩාගාරය විසින් අදාළ යන්ත්‍රෝපකරණ මිල දී ගැනීම සඳහා හිමිකම් දායකත්වයක් වශයෙන් රුපියල් මිලියන 625ක් එකී සංස්ථාව වෙත ලබා දීමට එකඟතාව පළ කර ඇත. ඒ අනුව, එම මුදල සහ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ අරමුදල් භාවිත කරමින් රුපියල් මිලියන 1,233ක මුළු ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ, විධිමත් ප්‍රසම්පාදන ක්‍රමවේදයන් අනුගමනය කරමින් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව වෙත අදාළ යන්ත්‍රෝපකරණ මිල දී ගැනීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


ග්‍රාමීය මාර්ග වැඩසටහන යටතේ මාර්ග පුනරුත්ථාපනය කිරීම සහ වැඩිදියුණු කිරීම පිණිස කොන්ත්‍රාත් ප්‍රදානය කිරීම

- ග්‍රාමීය මාර්ග වැඩසටහන යටතේ බස්නාහිර සහ උතුර යන පළාත්වල ග්‍රාමීය මාර්ග පැකේජ 05ක් පුනරුත්ථාපනය කිරීම සහ වැඩිදියුණු කිරීම පිණිස කොන්ත්‍රාත්කරුවන් තෝරා ගැනීම සඳහා ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇත. ඒ සඳහා ලංසු 17ක් ඉදිරිපත් කරනු ලැබ තිබේ. එම ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව එකී පැකේජ 05න් පැකේජ 03ක් සඳහා වන කොන්ත්‍රාත්තු පහත සඳහන් පරිදි පිරිනැමීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය මාර්ග පුනරුත්ථාපනය කිරීම සහ වැඩිදියුණු කිරීම පිණිස වන පැකේජ අංක 02 සඳහා වන කොන්ත්‍රාත්තුව සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන M/s RR Construction (Pvt) Ltd. වෙත රුපියල් මිලියන 659.05ක මුදලකට (එකතු කළ අගය මත බදු රහිත) පිරිනැමීම.
උතුරු පළාතේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ග්‍රාමීය මාර්ග පුනරුත්ථාපනය කිරීම සහ වැඩිදියුණු කිරීම පිණිස වන පැකේජ අංක 01 සඳහා වන කොන්ත්‍රාත්තුව සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන M/s RR Construction (Pvt) Ltd. වෙත රුපියල් මිලියන 801.74ක මුදලකට (එකතු කළ අගය මත බදු රහිත) පිරිනැමීම.
උතුරු පළාතේ මුලතිව් දිස්ත්‍රික්කයේ ග්‍රාමීය මාර්ග පුනරුත්ථාපනය කිරීම සහ වැඩිදියුණු කිරීම පිණිස වන පැකේජ අංක 02 සඳහා වන කොන්ත්‍රාත්තුව සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන M/s RR Construction (Pvt) Ltd. වෙත රුපියල් මිලියන 659.12ක මුදලකට (එකතු කළ අගය මත බදු රහිත) පිරිනැමීම.

මුතුරාජවෙල සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ දක්වා ගුවන් යානා ඉන්ධන ප්‍රවාහනය කිරීම සඳහා පහසුකම් සැලසීම


- මුතුරාජවෙල ඝනමීටර 92,000ක ධාරිතාවකින් යුත් ගුවන් යානා ඉන්ධන ගබඩා ටැංකි සංකීර්ණයක් හා ඒ ආශ්‍රිත පහසුකම් ඉදි කිරීම, එම ගබඩා පහසුකම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි ඉන්ධන පිරවුම් පර්යන්තයට සම්බන්ධ කරන විශේෂිත ඉන්ධන ප්‍රවාහන නළ මාර්ගයක් ඉදි කිරීම සහ මුතුරාජවෙල දැනට පවතින පර්යන්තයේ අවශ්‍ය වෙනස්කම් සිදු කිරීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස 2024-07-29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා තිබේ. ඒ සඳහා ලංසු 03ක් ඉදිරිපත් කරනු ලැබ ඇත. එම ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව, සාරානුකූල ප්‍රතිචාරාත්මක ලංසුකරු වන M/s. China Petroleum Pipeline Engineering Company Limited වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 40.84ක සහ ශ්‍රී ලංකා රුපියල් මිලියන 8,548.75ක (බදු සහිත) මුදලකට එකී කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත

- ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිසංවිධානය සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස 2026-06-08 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පාලනකරණය, පාලනය කිරීම, නියාමනය කිරීම, ප්‍රවර්ධනය කිරීම, සංවර්ධනය කිරීම සහ පරිපාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පිහිටුවීම සඳහා ද, යහපාලනය, සුපිළිපන්නභාවය, විනිවිදභාවය, වගකිවයුතුභාවය, ඇතුළත්භාවය සහ සමාන අවස්ථා සැලසීම යන මූලධර්ම හරහා ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය සඳහා ද, සියලු සහභාගිවන්නන්ගේ සුබසාධනය ආරක්ෂා කිරීම හා දූෂණයෙන් සහ වෙනත් අනිසි ක්‍රියාකාරකම්වලින් ක්‍රිකට් ආරක්ෂා කිරීම සඳහා ද ශ්‍රී ලංකා ක්‍රිකට් සංස්ථාපනය කිරීම, බලතල සහ කර්තව්‍ය සඳහා නෛතික විධිවිධාන සලසමින් නීති කෙටුම්පත් සම්පාදක විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත සකස් කරනු ලැබ ඇත. එම පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබේ. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
 

වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීම


- වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් ලෙස දැනට සේවය කරනු ලබන ආචාර්ය (ඉංජිනේරු) කේ.වැලිගෙපොලගේ මහතා, අනිවාර්ය විශ්‍රාම වයසට එළඹීම හේතුවෙන් 2026-10-06 දින සිට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යාමට නියමිතව ඇත. ඒ අනුව පුරප්පාඩු වන වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් තනතුරට දැනට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ජල සම්පත් සංවර්ධන) ලෙස සේවය කරනු ලබන ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනි, (ඉංජිනේරු) පී.එම්.ජයදීර මහත්මිය 2026-10-06 දින සිට ක්‍රියාත්මක වන පරිදි පත් කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.