.webp)
-624372.jpg)
COLOMBO(News1st) - පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට වගකිව යුතු අය එළියේ නිදහසේ සිටින බවත් ඊට අදාළව සාක්ෂිදීමට තමන් සූදානම් බවත් ප්‍රහාරයට අදාළව වරදකරු වී වසර දෙසීයක සිරදඩුවම් නියම වූ මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන් හෙවත් අබු තාරික් ඊයේ විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේය.
වරදකරු බවට නියම කිරීමෙන් පසුව දඩුවම ලිහිල් කර ගැනීම සදහා විත්ති වාචිකය ඉදිරිපත් කරමින් ඔහු කියා සිටියේ, වරදකරුවන්ට අනිවාර්යෙන් දඩුවම් ලැබිය යුතු බවයි.
කොළඹ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ දීර්ඝ කාලයක් විභාග වූ පාස්කු ඉරුදින නඩුවේ තීන්දුව ඊයේ රාත්‍රියේ ප්‍රකාශ කළේය.
රිස්කාන් නඩුව විභාග වන කාලසීමාවේ අධිකරණය හමුවේ කිසිවක් ප්‍රකාශ කර නොතිබූ අතර ඔහු වෙනුවෙන් නීතිඥ නියෝජනයක් ද සිදු වූයේ නැහැ.
දඩුවම් ලිහිල් කර ගැනීම සදහා වන විත්ති වාචකයේදී පමණක් ඔහු අදහස් පල කළේය.
එහිදි ඔහු ප්‍රකාශ කලේ තමන් වරදක් නොකල බව අල්ලා දෙවියන් දන්නා බවයි.
නමුත් මෙහි යම් සිදුවීමක් සිදුව ඇති බවත්,ඊට අප මැදිහත් වී ඇති බවත්,ඔහු ප්‍රකාශ කළේය.
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කලේ මෙම සිද්ධියට සම්බන්ධ එලියේ සිටින අය ප්‍රශ්ණ ඔලුවේ තියාගෙන ගිනි ගත් සේ සිටින බවයි.
වරදකරුවන්ට අනිවාර්යයෙන් දඩුවම් ලැබිය යුතු බවත්,ඒ සඳහා තමන් සාක්ෂි දීමට සූදානම් බවත්,මොහොමඩ් රිස්කාන් අධිකරණය හමුවේ කියා සිටියේය.
නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන කොළඹ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ විභාග වූ නඩුවේ තීන්දුව ප්‍රකාශ කෙරුණේ විනිසුරුවන්ගේ ඒකමතික තීරණය මතයි.
ඒ අනුව චූදිතයින් 24 දෙනෙකු අතරින් වරදකරුවන් බවට පත්වූ 15 දෙනෙකුට වසර් 200 ත් 260 ත් අතර කාලසීමාවල දඩුවම් නියම කෙරුණි.
සෙසු චූදිතයින් 9 දෙනෙකු නිදොස් කොට නිදහස් කෙරුණේ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට තහවුරු කිරීමට අසමත්වීම හේතුවෙන්.
ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ 2023 ඔක්තෝබර් 10 වනදා ආරම්භ වූ එම නඩු විභාගය අවසන් වූයේ පසුගිය අගෝස්තු 24 වැනිදා අවසන් වුණි.
විත්තිකරුවන් 24 දෙනාට එරෙහිව චෝදනා 23,270 ක් එල්ල කර තිබූ අතර එම පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි දුන් පුද්ගලයින් ගනන 2,309ක්.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විත්තිකරුවන් පොලිසියට ලබා දී තිබූ පාපොච්චරණ 10 ක් ස්වේච්ඡාවෙන් ලබාදුන් ඒවා බවට නිගමනය කරමින් අධිකරණය විසින් සාක්ෂි වශයෙන් පිළිගනු ලැබීය.
රජයේ රස පරීක්ෂක වාර්තා, DNA වාර්තා, ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින්ට අදාළ අධිකරණ වෛද්‍ය වාර්තා යනාදිය ද පැමිණිල්ල විසින් සාක්ෂි වශයෙන් ඉදිරිපත් කළේය.
ඊට අමතරව පුපුරණ ද්‍රව්‍ය, පුපුරණ ද්‍රව්‍ය නිපදවීම සඳහා යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය, කඩු, ගිනි අවි ඇතුළු නඩු භාණ්ඩ 2,076ක් ද පැමිණිල්ල මගින් මෙම නඩු විභාගය සඳහා ඉදිරිපත් කිරීම මෙම නඩු විභාගයේදී දකින්නට තිබු සුවිශේෂී කරුණුයි.
පැමිණිල්ල අධිකරණය හමුවට ඉදිරිපත් කල පෙන්ඩ්‍රයිව් එකක තිබූ වීඩියෝ දර්ශන පෙලක් මෙම නඩු විභාගයේදී අධිකරනයේ දැඩි අවධානයට යොමු වුණි.
සහරාන් ඇතුළු අට දෙනකු පෙනී සිටි එම දර්ශනවල පුද්ගලයින් පැහැදිලිව හදුනාගත් බව අධිකරණයේදී හෙළි වුණි.
මෙම දර්ශන පටිගත කර තිබුණේ 2019 අප්‍රේල් 21 වන දා ප්‍රහාරය සිදුවූ දිනට පෙර දිනයේයි.
ISIS ධජය සහිතව මෙම පිරිස බයියත් ප්‍රකාශය සිදු කිරීම සම්බන්ධයෙන්ද අධිකරණයේදී කරුණු අනාවරණයවූ අතර අදාළ දර්ශන පටිගත කර තිබුනේ ගල්කිස්ස ස්පෑම් ටවර් නමැති ස්ථානයකදීයි.
එම දර්ශන තුළ සහරාන් ඇතුළු කණ්ඩායමේ අන්තවාදී සිතුවිල්ල තහවුරු වන බව අධිකරණය නිගමනය කළේය.
ත්‍රිපුද්ගල මහාධිකරණ නියෝගය අනුව මොහොමඩ් ඉබ්‍රාහිම් මොහොමඩ් නවුෆර් හෙවත් නවුෆර් මවුලවි ඇතුළු චූදිතයින් 15 දෙනාට වසර 200ත් 260ත් අතර වෙන් වෙන්ව සිර දඩුවම් නියම කෙරුණි.
මෙම නඩුවේ 18 වන චූදිතයා වූ යාසින් බාවා අබ්දුල් රවුෆ් නඩු විභාගය අතරතුර බන්ධනාගාරයේදී මිය ගියේය.
නියෝගය ලබා දීමෙන් අනතුරුව සියලු පාර්ශ්වයන්ට නඩු ගාස්තු රහිතව නඩු පිටපත් ලබා දෙන ලෙසත් නියෝගය සම්බන්ධව අභියාචනා කිරීමට හැකි බවත් විනිසුරු මඩුල්ල දැනුම් දුන්නේය.
දඩුවම් නියමවූ 15 දෙනා සහ නිදොස් කොට නිදහස් කළ 9 දෙනා අද(23) අලුයම 2 ට පමණ බන්ධානාගර නිලධාරීන්ගේ දැඩි රැකවරණ මත අධිකරණයේ සිට යළි බන්ධනාගාරයට රැගෙන ගියේය.
නිදොස් කොට නිදහස ලැබූ පුද්ගලයින් මුදා හැරීම ඔවුන්ගේ සෙසු නඩු විභාග අනුව තීරණය කෙරෙණු ඇති.
