විදෙස් ගිණුම්වලට ඩොලර් බැරකළ සැකකරු රිමාන්ඩ්

රුපියල් බිලියන 24ක ඩොලර්, විදෙස් ගිණුම්වලට බැර කළැයි අත්අඩංගුවට ගත් සැකකරු රක්ෂිත බන්ධනාගාරයට.

by Staff writer 23-09-2026 | 7:19 PM

COLOMBO(news1st) - රුපියල් බිලියන 24.85 ක් වටිනා ඇමරිකානු ඩොලර් සංචිත නීති විරෝධිව මෙරටින් බැහැර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ලබන 01 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

ඒ, සැකකරු අද(23) පස්වරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය එලෙස අත්අඩංගුවට ගත්තේ, 35 හැවිරිදි කොළඹ 12 වේල්ල වීදිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු විසින් තවත් තුන්දෙනෙකුගේ නමින් ව්‍යාජ සමාගම් 05 මගින් එම මුදල් විදේශවලට යැවීමට කටයුකු කර ඇතැයි අනාවරණ වී තිබේ.

මෙරට ලියාපදිංචි සමාගම් 89කින් භාණ්ඩ ආනයන සිදු කරන බවට අඟවමින් විද්‍යුත් විගමන පැවරුම් හරහා ඩොලර් සංවිත රටින් බැහැර කර අදාළ භාණ්ඩ මෙරටට ආනයනය  කර නොමැති බවට පොලිස් මූලස්ථානයට ලැබුණු පැමිණිල්ලක් පදනම් කර ගනිමින් දීර්ඝ විමර්ශන ක්‍රියාත්මකයි

මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත ප්‍රකාරව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් ඒ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කළේය.