ශිරන්ති රාජපක්ෂගේ ඇප ඉල්ලම....

ශිරන්ති රාජපක්ෂගේ ඇප ඉල්ලම....

by Nadeeshan Meedin 06-10-2026 | 7:29 PM

COLOMBO (News 1st) - හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂගේ අපේක්ෂිත ඇප ඇයදුම සම්බන්ධයෙන් ලබන 12 වැනිදා අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන්නැයි, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද නොතීසි නිකුත් කළේ ය.

පසුගිය සති කිහිපයේ විදේශ ගතව සිටි ශිරන්ති රාජපක්ෂ ආපසු පැමිණියේ ඊයේ (05) රාත්‍රියේයි.

මැලේසියාවේ සිට ශිරන්ති රාජපක්ෂ ඊයේ රාත්‍රී 11. 20ට පමණ ආපසු පැමිණ තිබිණි.

ඇය පසුගිය 16 වැනිදා විදේශ ගතව තිබුණේ, සිරිලිය සවිය ගනුදෙනු පිළිබඳව කෙරෙන විමර්ශනයකට අදාළව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවීමක් කර තිබියදීයි.

24 වැනිදා ඒ සඳහා දින ලබාදී තිබියදී ශිරන්ති රාජපක්ෂ විදෙස් ගතවූ අතර, එම අවස්ථාවේ ඇය වෙනුවෙන් ප්‍රකාශ ඉදිරිපත් කළ පිරිස් කියා සිටියේ 19 වැනිදා ඇය ආපසු පැමිණීමට නියමිත බවයි.

එම කාලසීමාවද ඉක්මවයන තෙක් ඇය ආපසු නොපැමිණි අතර ඊයේ පෙරවරුවේ ඇය වෙනුවෙන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප ඉල්ලීමක් ගොනු කෙරිණි.

ශිරන්ති රාජපක්ෂ රාත්‍රියේ ආපසු පැමිණියේ එම ඉල්ලීම ගොනුකිරීමෙන් පසුවයි.

අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ගැනීම සඳහා විදේශ ගතවූ තමන් යළි ලංකාවට පැමිණීමේදී අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් ඇති බැවින් එය වළක්වමින් නියෝගයක් නිකුත් කරන්නැයි එම ඉල්ලීමේ සඳහන් කර තිබිණි.

අපේක්ෂිත ඇප අයැදුම් පත්‍රය අද අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ ශිරන්ති රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් සිල්වා ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් අනතුරුව මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ ස්ථානාධිපතිවරයාට ඇප අයැදුම පිළිබඳ කරුණු දක්වන ලෙස දන්වමින් නොතීසි නිකුත් කළේ ය.

එම අපේක්‍ෂිත ඇප අයැදුම් පත්‍රයේ වගඋත්තරකරු වශයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ ස්ථානාධිපතිවරයා නම් කර තිබේ.