අනෝජන් වෙනුවෙන් සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

අනෝජන්ගේ මරණ දඬුවම ලිහිල් කරගැනීමට අද සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්.

by Staff writer 10-10-2026 | 8:55 AM

COLOMBO(News1st) -  අනෝජන් සිවරාසාට නියම කර ඇති මරණ දඬුවම ලිහිල් කර ගැනීම සඳහා අද(10) සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ඒ සම්බන්ධයෙන් සෞදි නීතිඥ සමාගම් සමග සාකච්ඡා කිරිම සඳහා අතිරේක සොලිසිටර් ජෙනරාල්, ජනාධිපති නීතිඥ අසාඩ් නවාවි,  ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා සෞදිය බලා පිටත්ව ගියේ, පසුගිය අගහරුවාදායි.

සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරිමට අදාළව ජනාධිපති නීතිඥවරුන් ඊයේ දිනයේත් සෞදි නීතිඥ සමාගම් සමග සාකච්ඡා කර තිබේ.

අභියාචනය හරහා යහපත් ප්‍රතිචාර නොලදහොත් සෞදි රජු වෙත ද අභියාචනයක් ඉදිරිපත් කිරීමට නියමිතයි.

අනෝජන් සිවරාසා නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය රාජ්‍ය මැදිහත්වීම සිදු කරන්නැයි ඉල්ලා රාමඤ්ඤ මහ නිකායේ සහ අමරපුර මහා නිකායේ මහනාහිමිවරුන් පසුගියදා ජනාධිපතිවරයා වෙත සංදේශයක් ද භාරදුන්හ.

සමාජ මාධ්‍ය ඔස්සේ කළ ප්‍රකාශයකට අදාළව සෞදි අරාබියේ අල්-අහ්සා අපරාධ අධිකරණය, අනෝජන් සිවරාසාට වසර 5 ක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන 3 ක දඩයක් නියම කර තිබුණි.

එම දඩුවමට අදාළව අනෝජන්ගේ පාර්ශ්වය අභියාචනා ගොනු කළ පසු, ඊට එරෙහිව එරට නීති ප්‍රධානීන් ද තවත් ඉල්ලීමක් අධිකරණයට ඉදිරිපත් කළේ ය.

ඔහුට මරණ දඩුවම නියම කෙරුණේ, අදාළ අභියාචනා සළකා බැලීමෙන් අනතුරුවයි.

මීට මාස 9 කට පෙර රැකියාවක් සදහා සෞදියට ගිය අනෝජන් සිවරාසා, කල්මුණේ නැට්පිට්ටිමුනෙයි පදිංචිකරුවෙකි.