ප්‍රදේශ රැසකට අද 100mm ඉක්මවූ තද වැසි..

දිවයින ආසන්නයේ පහළ වායුගෝලීය කැළඹිලි තත්ත්වය, අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙයි,ප්‍රදේශ රැසකට තද වැසි...

by Staff writer 22-10-2026 | 6:47 AM

COLOMBO (News 1st) - බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට අද(22) මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වලත්, මන්නාරම දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය කැළඹිලි තත්ත්වය, අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී තිබේ.

එහි බලපෑම හේතුවෙන්, අද (22) සහ හෙට (23) දිනයන්හි දී දිවයින පුරා මෙන්ම දිවයින අවට ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලද වැසි තත්ත්වය වැඩි වනු ඇති.

මේ අතර දිස්ත්‍රික්ක 7කට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ උඩපළාත, මැදදුම්බර හා කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර දෙක යටතේ නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කෙරිණි.

බදුල්ල, කෑගල්ල, රත්නපුර,මහනුවර,මොනරාගල ,කුරුණෑගල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක් සඳහා අදියර එක යටතේ නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ජලාශ 18 ක් මේ වන විට වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එහි ජලවිද්‍යා කළමණකරන ඒකකයේ අධ්‍යක්ෂ ඉංජිනේරු, එල්. එස්. සූරියබණ්ඩාර පැවසුවේ, දැදුරු ඔය හා රාජාංගණය ජලාශද ඒ අතරට ඇතුළත් බවයි.