නව අවබෝධතා ගිවිසුමක්...

දේශීය ආදායම් හා සුරාබදු දෙපාර්තමේන්තුව අතර අවබෝධතා ගිවිසුමක්...

by Staff writer 22-10-2026 | 7:16 AM

COLOMBO (News 1st) - බදු පැහැර හැරීම් සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සඳහා දේශීය ආදායම් හා සුරාබදු දෙපාර්තමේන්තු අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ.

ඒ අනුව ඒකාබද්ධ යාන්ත්‍රණයක් ඔස්සේ බුද්ධිමය තොරතුරු හුවමාරු කර ගැනීමටත්, ඒ මත පදනම්ව සමාන්තර විමර්ශන සිදුකිරීමටත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇත.

නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ඒ. එන්. හපුගලගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) දිනයේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේදී එම ගිවිසුම අත්සන් කර තිබේ.

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවී ප්‍රනාන්දු මහත්මිය සහ සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. බී. එන්. ඒ. ප්‍රේමරත්න ඊට අත්සන් කළ බව සඳහන්.

එම ඒකාබද්ධ වැඩපිළිවෙළට බදු පැහැර හැරීම්වලට එරෙහිව සිදු කෙරෙන විගණන කටයුතු පුළුල් කිරීම,

ආදායම් රැස් කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම,

රජයේ සමස්ත ආදායම් ඉලක්ක කරා ළඟා වීම ආදී ප්‍රධාන අරමුණු කිහිපයක් ඇතුළත්.

එම පියවර මගින් රජයේ බදු ආදායම සුරක්ෂිත කරමින් මූල්‍ය විනය සහ නීතිය ක්‍රියාත්මක කිරීම තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.