අඩු පීඩන කලාපයේ බලපෑමෙන් ප්‍රදේශ රැසකට වැසි....

අඩු පීඩන කලාපයේ බලපෑමෙන් ප්‍රදේශ රැසකට වැසි....

by Staff writer 23-10-2026 | 9:22 AM

COLOMBO(News1st) - ශ්‍රී ලංකාව ආසන්නයේ පවතින අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුර සහ වයඹ පළාත්වලටත්, අනුරාධපුර සහ ගාල්ල දිස්ත්‍රික්කවලට අද(23) ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එය, මේ වන විට දිවයිනෙන් ඉවත බටහිර දෙසට ගමන් කරමින් පවතින අතර, ඒ හේතුවෙන් දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 75ක පමණ තරමක් තද වැසි ඇති විය හැකියි.

තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

ගිණිකොණ දිග සහ ඊට යාබද නැගෙනහිර - මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ අද(23) තවත් අඩුපීඩන කලාපයක් නිර්මාණය විය හැකි බව ද, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.

එය බටහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කරමින් තවදුරටත් වර්ධනය විය හැකියි.

ඒ හේතුවෙන් කන්සන්තුරය සිට පුත්තලම, කොළඹ, ගාල්ල, මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල සුළං වේගය පැයට කිලෝමීටර 60 - 70 ත් දක්වා ඉහළ යා හැකියි. ඒ හේතුවෙන් බෙංගාල බොක්ක ආශ්‍රිත උතුරු අක්ෂාංශ 10 න් ඉහළ මුහුදු කලාපයේ යාත්‍රා නොකරන්නැයි ධීවර දෙපාර්තමේන්තුව, ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙයි.

දැදුරු ඔය මොරගස්වැව ප්‍රදේශයෙන් තවදුරටත් පවතින්නේ, ගංවතුර අවදානම් මට්ටමේයී.

ඒ පිළිබඳ දැඩි විමසිල්ලෙන් කටයුතු කරන්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ එල්.එස් සූරියබණ්ඩාර පහත් බිම් වල වෙසෙන ජනතාවට දැනුම් දෙයි.

අධික වර්ෂාවත් සමග කළුතර, මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට අදියර එක සහ දෙක යටතේ නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් බලාත්මකයි.