ලෝක ළමා දිනය අදයි

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදයි

by Staff writer 01-10-2023 | 7:55 AM

COLOMBO (News 1st) - ලෝක ළමා දිනය අදට (01) යෙදී තිබේ.

“සියල්ලට වඩා දරුවන් වටී යන්නයි” යන්න මෙවර එහි තේමාවයි. 

ලෝක ළමා දිනයක් ප්‍රකාශයට පත් කෙරුණේ, ලොව පුරා ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙනි.

මේ වන විට ලොව පුරා සිටින ළමා ජනගහනය, බිලියන 2 ක්.

වර්තමානයේ රටේ ඇතිවී තිබෙන විවිධ ගැටලු හමුවේ ළමා අපයෝජන වර්ධනය වීමේ අවධානමක් ඇතැයි, ළමා දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

එහි සභාපති උදයකුමාර අමරසිංහ මහතා සඳහන් කළේ, අන්තර්ජාලය හරහා සිදුවන ළමා අපයෝජනවල ශීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබෙන බවයි.

වර්තමානයේ රට තුළ උද්ගතව ඇති ආර්ථීක සහ සමාජීයීය තත්ත්වයන් හමුවේ ළමුන් පිළිබඳ දැඩි අවධානයෙන් කටයුතු කළයුතු බව, ඔහු ප්‍රකාශ කළේ ය.

ලෝක ළමා දිනය නිමිත්තෙන් නිවුස්ෆස්ට් දරුවන් වෙනුවෙන් සුවිශේෂී අවස්ථාවක් ලබා දීමට තීරණය කළේ ඒ හේතුවෙනි.

ඒ අනුව අද දවස පුරා සිරස TV පැයේ පුවත් සහ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශ ඉදිරිපත් කරන්නේ දරුවන් විසිනි.

මේ යටතේ තෝරාගත් ළමුන් 20 දෙනෙකුට නිවුස්ෆස්ට් ප්‍රවෘත්ති කාමරයේ සිට ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමට, සම්පාදනය කිරීමට මෙන්ම හඬ දායකත්වය ලබාදීමට අවස්ථාව උදාවනු ඇත.

මේ අතර ලෝක වැඩිහිටි දිනය ද අදට යෙදී තිබේ.

මෙවර එහි තේමාව වී ඇත්තේ, සුවපත් වැඩිහිටි දිවියක් සඳහා විශ්වීය වැඩිහිටි හිමිකම් පරපුරෙන් පරපුරට යන්නයි.

ලොව පුරා වෙසෙන වයස අවුරුදු 65 ඉක්මවූ වැඩිහිටි ජනගහනය, මිලියන 771 කි.

වැඩිහිටියන්ගේ තොරතුරු ඇතුළත් ඇප් එකක් හඳුන්වාදීම අද සිදුකෙරෙන බව, ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය නිවේදනය කළේ ය.

එහි අධ්‍යක්ෂ කපිල ලැනරෝල් මහතා සඳහන් කළේ, වැඩිහිටියන් වෙනුවෙන් රක්ෂණාවරණයක් හඳුන්වාදීමට ද නියමිත බවයි.